ලංගම සහ පෞද්ගලක බස් රථ මගීන්ට දැනුවත් කිරීමක් - ඉදිරි සතියේ බස් ධාවනය වෙන්නේ මෙහෙමයි - ඒකාබද්ධ කාලසටහනක්
ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති පී.ඒ.චන්ද්‍රපාල මහතා විසින් හැටන් මහනුවර ප්‍රධාන මාර්ගයේ ධාවනය වන ලංගම සහ පෞද්ගලක බස් රථ මගී අවශ්‍යතාවය මත ඒකාබද්ධ කර ඒකාබද්ධ කාලසටහනකට අනුව ඉදිරි සතියේ සිට ධාවනය කිරිමට තීරණය කළ බව පවසා ඇති බව වාර්තා වේ.
ඒ අනුව මේ සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් ඊයේ (03) දින පස්වරුවේ නුවර එළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙනුයි පැවැත් වුණ බව සඳහන්.
එසේම මෙම විශේෂ සාකච්ඡාව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති පී. ඒ. චන්ද්‍රපාල, ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති සංජීව කණකරත්න, මධ්‍යම පළාත මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපති අජිත් ප්‍රියන්ත යන මහතුන්ගේ සහභාගීත්වෙයෙන් හැටන් දික්ඔය නගර සභා ශාලාවේදී පවත්වා ඇති බව වාර්තා වේ.
අඳාළ සාකච්ඡාවට හැටන් – මහනුවර, ගිනිගත්හේන නාවලපිටිය, නාවලපිටිය මහනුවර මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථ හිමියන් සහ හැටන් ලංගම ඩිපෝවේ කළමණාකාර පාලිත වීරසූරය මහතා සහ මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ නිලධාරීන් ද එක්ව ඇත.
එමෙන්ම මෙම සාකච්ඡාවේදී අදහස් දැක්වූ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි මහතා පවසා සිටියේ නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ මාර්ග සංවර්ධන අධිකාරියට හෝ පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් නොවන ගැසට් නොවූ මාර්ග 1288ක් පවතින බවත්, එම මාර්ග කිසිවෙකුත් නිසි නඩත්තුවක් සිදු නොකිරිම නිසා එම ප්‍රදේශවල සිටින පදිංචිකරුවන් නිසි ප්‍රවාහන සේවාවක් නොමැති හේතුවෙන් පීඩාවට පත් වී තිබෙන බවයි.
එමෙන්ම අඳාළ මාර්ග රජයට පවරාගෙන ප්‍රතිසංස්කරණය කර එම මාර්ගවල ද මගී ප්‍රවාහන බස් රථ ධාවනයට එක් කළ යුතු බවද මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි මහතා පවසා ඇත.
එහිදී අදහස් දැක්වූ ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති පී.ඒ.චන්ද්‍රපාල මහතා සඳහන් කළේ රජයේ ප්‍රතිපත්තිවලට අනුකූලව සහ මගීන්ගේ අවශ්‍යතාවය පරිදි හැටන් සිට මහනුවර දක්වා ලංගම බස් රථ 32 ක්, පෞද්ගලික බස් රථ 31ක් ඒකා බද්ධ කාලසටහනට ඇතුලත් කර ඇති බවත්, මහනුවර සිට හැටන් දක්වා ලංගම බස් රථ 30ක් සහ පෞද්ගලික බස් රථ 30ක් ඇතුලු ගමන්වාර 60 සිට 63 දක්වා ඒකාබද්ධ කාලසටහනට ඇතුලත් කර ඇති බවත් ය.
එම ඒකාබද්ධ බස් රථ සේවාව තුළින් එම මාර්ගයේ ධාවනය වන අනෙකුත් බස් රථවලට බාධාවක් නොවන සේ එම ඒකාබද්ධ සේවය ක්‍රියාවට නංවන බවත්, පැවසූ ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති පී.ඒ.චන්ද්‍රපාල මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙයට විරුද්ධ වීමට කිසිදු බස් රථ හිමියෙකුට අයිතියක් නොමැති බවයි.
එම සාකච්ඡාවෙන් පසුව මාධ්‍යට අදහස් දැක්වූ නුවර එළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි මහතා පැවසුවේ හැටන් – මහනුවර ප්‍රධාන මාර්ගයේ ලංගම සහ පෞද්ගලික බස් රථ ඒකාබද්ධ කාලසටහනක් අනුව ධාවනය කිරීමේ සාකච්ඡා 2011 වසරේ සිට සාකච්ඡා මට්ටමින් පැවතියත්, එය වත්මන් රජය යටතේ ක්‍රියාවවට නැංවීමට හැකි වූ බවයි.
එමෙන්ම එම සෑම බස් රථයකම සීසීටීවී කැමරා පද්ධතිය, ජීපීඑස් තාක්ෂණය සහ අනෙකුත් නවීනතම තාක්ෂනයන් ඔස්සේ එම බස් රථ ධාවනය කිරිමට සැළසුම් කර තිබෙන බවයි.
මේ අතර මධ්‍යම පළාත මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපති අජිත් ප්‍රියන්ත මහතා කියා සිටියේ මධ්‍යම පළාත තුළ පෞද්ගලික බස් රථ ධාවනය තුළ සිදු කරන මුදල් ලබා ගැනීමේ මාෆියාව නතර කිරිමට තමන් මේ වන විට කටයුතු කර තිබෙන බවත්, එය ක්‍රමානුකූලව සිදු කර මධ්‍යම පළාත තුළ ගුණාත්මක මගී ප්‍රවාහන සේවයක් පවත්වා ගෙන යෑම තම අරමුණ බවත් ය.