නාමල් රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

By Malith Madushan Sep 04, 2026 12:25 PM GMT
Report

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (04) නියෝග කළේය.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා සහ සැකකාර මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයකට තුඩු දුන් සිද්ධියකදී අමෙරිකානු ඩොලර් ලක්ෂ 08ක අල්ලස් මුදලක් ලබාගත් බවට සැකපිට නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

අදාළ ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා මන්ත්‍රීවරයා අද පෙරවරුවේ එම කොමිෂන් සභාව වෙත පැමිණියේය.

එහිදී පැය පහකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන තිබේ. අනතුරුව ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.