මුහුදේ පාවී ආ බෝතලයක් බී මියගිය ධීවරයින්ගේ මරණ ගැන විවෘත තීන්දුවක්
නොරෝච්චෝල නාරක්කල්ලිය ප්‍රදේශයේ දී වෙරළට පාවී ආ බෝතලයක තිබූ ද්‍රාවණයක් පානය කිරීමෙන් පසු ඇතිවූ සංකූලතා හේතුවෙන් මරණයට පත් වූ ධීවරයින් දෙදෙනාගේ මරණ සම්බන්ධයෙන් විවෘත තින්දුවක් ලබා තිබේ.
පුත්තලම මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී ප්‍රසන්න අප්පුහාමි මහතා පශ්චාත් මරණ පරික්ෂණයේදී ප්‍රකාශ කළේ එම ධීවරයින්ගේ සිරුරු කොටස් රජයේ රස පරික්ෂක වෙත යවා වැඩිදුර වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන බවය.
නොරොච්චෝලේ මුහුදු තීරයේ ධීවර වාඩියක සිටි ධීවරයන් 08 දෙනකු මාළු වේළමින් සිටියදී මුහුදේ පාවී ආ කිසියම් ද්‍රව්‍යක් අඩංගු බෝතලය හමුවී ඇත්තේ පෙරේදා (28දා) දහවල්ය.
පසුව එය අහුලා ගත් තරුණයා තවත් තිදෙනකු සමග එක්ව එම බෝතලයේ තිබූ ද්‍රව්‍ය අරක්කු යැයි කියමින් පානය කර තිබේ. එම ද්‍රව්‍ය පානය කළ එක් තරුණයකු පෙරේදා සවස් කාලයේ දැඩි ලෙස අසනීප වූ අතර ඔහු රෝහල්ගත කිරීමෙන් පසු පෙරේදා රාත්‍රියේ මියගොස් තිබිණි.
ඊයේ උදෑසන මාළු වාඩියේ හිමිකරු එහි පැමිණෙද්දී තවත් ධීවරයකු වාඩිය තුළ මියගොස් සිට ඇත. මේ අතර මෙම ද්‍රව්‍ය පානය කළ අනෙක් දෙදෙනා ද පසුව පුත්තලම රෝහලට ඇතුළත් කර තිබේ. එසේ රෝහල්ගත කළ දෙදෙනාගේ තත්ත්වය ද අසාධ්‍ය බව රෝහල් ආරංචි මාර්ග කියයි.
එමෙන්ම මරණයට පත් වූ ධීවරයින් දෙදෙනා පානය කළ ප්ලාස්ටික් බෝතලයේ අඩංගු දෑ මොනවා දැයි සොයා බැලීමට අදාළ බෝතලයේ අඩක් තිබු ද්‍රාවණය ද රජයේ රස පරික්ෂකවරයාට ඉදිරිපත් කිරීමට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා නිර්දේශ කර තිබේ.