මේ පාසල් වල දරුවන් 6වෙනි ශ්‍රේණියට ඇතුලත් කරගන්නා ආකාරය ගැන විශේෂ නිවේදනයක්
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගත් නව තීරණයක් අනුව, ජාත්‍යන්තර සහ පෞද්ගලික පාසල්වල අධ්‍යයනය කරන සිසුන්ටද රජයේ පාසල්වල හයවැනි ශ්‍රේණියට ඇතුළත් වීමේ අවස්ථාව ලබා දීමට තීරණය කර තිබේ.
මෙහිදී, එම සිසුන්ගේ වයස, අධ්‍යාපනික සාධන මට්ටම සහ භාෂා දක්ෂතාවය රජයේ පාසලක අධ්‍යයනය කිරීමට සුදුසුද යන්න තහවුරු කිරීමේ වගකීම අදාළ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට පැවරේ.
එම තහවුරු කිරීමෙන් පසු, ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ලකුණු අනුව සිසුන් ඇතුළත් කිරීමෙන් තවදුරටත් පුරප්පාඩු පවතින පාසල්වලට, එවැනි සිසුන් ඇතුළත් කිරීමට අවසර ලබා දිය හැකි බව අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම නව නියමය අඩංගු අමාත්‍යාංශ චක්‍රලේඛය සැප්තැම්බර් 9 වනදා සිට ක්‍රියාත්මක වන අතර, ශිෂ්‍යත්ව පරීක්ෂණ ප්‍රතිඵල මත හයවැනි ශ්‍රේණිය සඳහා අයැදුම් කිරීම සහ අභියාචනා ඉදිරිපත් කිරීම මාර්ගගත පද්ධතියකින් පමණක් සිදු කිරීමට නියමිත වේ.
ඒ අනුව, අයැදුම් කල යුතු කාල සීමාව, පාසල් නාමලේඛනය සහ මාර්ගගතව අයැදුම් කිරීම සම්බන්ධ උපදෙස් අමාත්‍යාංශ වෙබ් අඩවිය සහ මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කරනු ඇත.
දිස්ත්‍රික් කඩඉම් ලකුණු ප්‍රකාශයෙන් පසු, එම ලකුණු ඉක්මවා සිටින සිසුන්ට පාසල් අයැදුම්පත් පාසල මගින් දෙමාපියන් වෙත ලබා දෙනු ලබන අතර, දෙමාපියන් විසින් එය සම්පූර්ණ කර විදුහල්පතිට භාර දිය යුතුය.
විදුහල්පතිවරුන් එම තොරතුරු අදාළ කාල සීමාව තුළ මාර්ගගත පද්ධතියට ඇතුළත් කිරීමේ වගකීම දරති. මේ අනුව, අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරියට ගෙන යන නව පියවරවල මූලික අරමුණ වන්නේ ශිෂ්‍යත්ව පද්ධතිය යටතේ සිසුන්ගේ අවස්ථා සමානව විවෘත කිරීම සහ පද්ධතියේ සාධාරණත්වය වැඩිදියුණු කිරීමයි.