ලංකාව මේ බද්දට හදිසි අවශ්‍යතාවක් නෑ කිව්වත් බද්ද වහාම පනවන්නැයි IMF එකෙන් ලංකාවට දැනුම් දෙයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් මෙරටට ලබා දී ඇති අරමුදල් වැඩසටහනේ ප්‍රධාන කොන්දේසියක් වන 'දේපළ බද්ද', එළඹෙන වසරේ පළමු මාස හය ඇතුළත හඳුන්වා දීමට රජය පියවර ගත යුතු බව එම අරමුදල අවධාරණය කර සිටි බව වාර්තා වේ.
ඒ අනුව මෙම දේපළ බද්ද ප්‍රධාන වශයෙන්ම පැනවීමට යෝජනා වී ඇත්තේ දෙවැනි හෝ අමතර නිවසක් හිමි පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් බව සඳහන්.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ මෙම බදු ක්‍රමය ක්‍රියාත්මක කරන නිශ්චිත කාලසීමාව සහ එහි ව්‍යුහය පිළිබඳව රජය මේ වන විටත් වැඩිදුර අධ්‍යයනයක නිරතව සිටින බවයි.
එමෙන්ම සාමාන්‍යයෙන් දේපළ සඳහා බදු අයකිරීම විධිමත් බදු ක්‍රමයක අත්‍යවශ්‍ය අංගයක් වන අතර, එමඟින් දේශීය ආදායම් ශක්තිමත් කර ගැනීමට විශාල දායකත්වයක් ලැබෙන බව මූල්‍ය අරමුදලේ මතය බව සඳහන්.
එසේම ඔවුන් රජයට නිර්දේශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ බදු පද්ධතිය වඩාත් කාර්යක්ෂම සහ සාධාරණ එකක් බවට පත් කිරීම සඳහා "මධ්‍යකාලීන ආදායම් උපායමාර්ගයක්" සකස් කරන ලෙසයි.
එම උපායමාර්ගයේ ප්‍රධාන අංග ලෙස බදු ගෙවන පිරිස වැඩි කිරීම, බදු පරිපාලනය ශක්තිමත් කිරීම සහ අනවශ්‍ය බදු සහන ඉවත් කිරීම දක්වයි.
දේපළ බද්ද යනු පුද්ගලයෙකු සතු ඉඩම්, නිවාස සහ ගොඩනැගිලි වැනි නිශ්චල දේපළවල වටිනාකම මත පදනම්ව අය කරනු ලබන සෘජු බදු ක්‍රමයක් වන අතර දැනට මෙරට පළාත් පාලන ආයතන මඟින් වාරික වශයෙන් දේපළ තක්සේරු බදු අය කළද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කරන්නේ ජාතික මට්ටමේ පුළුල් දේපළ බද්දකි.
එම බදු ක්‍රමය මුලින් 2025 වසරේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණද, ඒ සඳහා ප්‍රධාන බාධක දෙකක් මතු වී ඇත.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයට අදාළ නෛතික කරුණු ඉන් එකක් වන අතර, මෙරට ජනතාවගේ දේපළ පිළිබඳ නිවැරදි තක්සේරු දත්ත ඇතුළත් ජාතික දත්ත පද්ධතියක් නොමැති වීම අනෙක් බාධකය වේ.
කෙසේ වුවද රජයේ පාර්ශවයෙන් ප්‍රකාශ වන්නේ පවතින ආදායම් මාර්ග ඔස්සේ දැනටමත් නියමිත ආදායම් ඉලක්ක සපුරා ගැනීමට හැකි වී ඇති බැවින්, නව දේපළ බද්දක් හඳුන්වා දීමේ හදිසි අවශ්‍යතාවක් නොමැති බවයි.
එසේ වුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වය සඳහා මෙවැනි ව්‍යුහාත්මක බදු ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බවයි.
එබැවින් අදාළ දත්ත පද්ධති සකස් කරමින් මෙම බද්ද ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරන ලෙස මූල්‍ය අරමුදල රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ.