නාන කාමරේ හිටපු කාන්තාවන්ව වීඩියෝ කරලා - වයස 19න් පහළ දෙකකට වැඩ වරදී
නාරහේන්පිට ප්‍රසිද්ධ හෝටලයක නාන කාමරයක සිටි වෛද්‍යවරියක ඇතුළු කාන්තාවන් පිරිසක් ජංගම දුරකථනයෙන් වීඩියෝ කළ බව කියන 19 න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මාධ්‍ය වාර්තා කරයි.
නාරහේන්පිට පොලිසියට 119 පොලිස් හදිසි ඇමතුම් අංශය හරහා ලද පණිවිඩයකට අනුව විමර්ශන පවත්වා සැකකාර ක්‍රීඩකයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
වැඩමුළුවකට සහභාගි වීම සඳහා වෛද්‍යවරියකු ලෙස කටයුතු කරන කාන්තාවක් ඇතුළු ඇයගේ යෙහෙළියන් 17 දෙනෙකු ඇතුළු පිරිසක් එම හෝටලය වෙත පැමිණ කාමර දෙකක නවාතැන් ගෙන ඇති අතර එම හෝටලයේම වයස අවුරුදු 19 න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන් 07 දෙනෙකුද පුහුණුවීම් කටයුතු සඳහා විවිධ ප්‍රදේශවලින් කොළඹට පැමිණ එම හෝටලයේ නවාතැන් ගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
එම ක්‍රිකට් ක්‍රීඩකයින් අතර සිටි මෙම සැකකරුවන් දෙදෙනා විසින් එම කාන්තාවන් නාන කාමරයේ සිටියදී ජංගම දුරකථනයක් උපයෝගී කරගෙන ඔවුන්ගේ දර්ශන වීඩියෝ ගතකර ඇති බව සිදුකළ විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 19 ක් වන මහනුවර පූජා පිටිය සහ පන්නල වෙල්පන්න පදිංචිකරුවන්ය.