වහාම පත් කරන්න - හර්ෂ ද සිල්වාගෙනුත් ජනපතිට තවත් ලිපියක්
ගංවතුර උවදුර නිසා රට ඉතාමත් තීරණාත්මක මොහොතකට මුහුණදී සිටින අවස්ථාවක විගණකාධිපති තනතුර දෙසැම්බර් 07 වන දින සිට පුරප්පාඩු වී තිබීමත් ඒ හමුවේ විගණන සේවා කොමිසමට සභාපතිවරයෙකු නොමැති වීමත් ගැටලු සහගත තත්ත්වයක් මතුකර ඇති බවට මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යවමින් අවධාරණය කර ඇත.
මෙම ලිපිය දෙසැම්බර් 22 දිනැතිව යොමුකර තිබෙන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වගන්තිය අනුව රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු බවත් එය ක්‍රියාත්මක වීමට ස්වාධීන විගණන යාන්ත්‍රණයක් අවශ්‍ය බවත් ඔහු දක්වයි.
එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 වන වගන්තියට අනුව විගණකාධිපතිවරයෙකු පත්වන බවත් එම විගණකාධිපතිවරයා විසින් රාජ්‍ය ආයතන විගණනය කර ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තා කරන බවත් පෙන්වා දෙයි.
එබැවින් විගණකාධිපති ධුරය පුරප්පාඩුවීම හේතුවෙන් මෙම අනිවාර්ය ව්‍යවස්ථාපිත ක්‍රියාවලියට බාධා සිදුවන බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ජනාධිපතිවරයාට දන්වා ඇත.
තවද රාජ්‍ය ගිණුම් කාරක සභාවත්, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවත් විගණකාධිපතිවරයා විසින් නිකුත් කරන විගණන වාර්තා මත සෘජුවම කටයුතු කරන හෙයින් මෙම තනතුර පුරප්පාඩුවීම පාර්ලිමේන්තුවෙන් සිදුකරන මූල්‍ය අධීක්ෂණයට බාධාවක් වනු ඇති බවත් දක්වයි.
ඒ අනුව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ජාතික විගණන කාර්යාලයේ අයවැය සහ ක්‍රියාකාරී වැඩසටහනේ වගකීම සහ අධීක්ෂණය මුදල් කාරක සභාව සතු හෙයින් එහි සභාපතිවරයා වශයෙන් ඉතාමත් ඉක්මනින් විගණකාධිපතිවරයෙකු පත්කරන ලෙස අවධාරණය කිරීම සිය වගකීම යැයි තමා සිතන බවයි.
එබැවින් ප්‍රමාදයකින් තොරව සුදුසු පුද්ගලයෙකු විගණකාධිපති තනතුරට පත් කරන ලෙස ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.