ට්‍රම්ප්ගෙන් ඇමරිකා සිහිනයට මරු පහරක් - H-1B වීසා අයදුම්පත් ලක්ෂ ගණනකින් බිමට ඇද වැටෙයි
එක්සත් ජනපදයේ H-1B රැකියා වීසා වැඩසටහන සඳහා ලැබෙන අයදුම්පත් සංඛ්‍යාව මෙම වසරේ සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය පවසයි.
රැකියා වීසා තෝරා ගැනීමේ ක්‍රියාවලියට සිදු කළ ප්‍රධාන වෙනස්කම් සහ පද්ධතිය අනිසි ලෙස භාවිත කිරීම මැඩපැවැත්වීමේ වැඩපිළිවෙළ හේතුවෙන් මෙම පහත වැටීම සිදුව ඇති බව එම පරිපාලනය සඳහන් කරයි.
ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ “අඩු වැටුප් යටතේ සමූහ ලියාපදිංචි කිරීම් හරහා වැඩසටහන අනිසි ලෙස භාවිත කිරීමේ යුගය අවසන්” වූ බවයි.

එක්සත් ජනපද පුරවැසිභාවය සහ ආගමන සේවා ආයතනය නිකුත් කළ නවතම දත්ත අනුව, නිසි ලෙස ඉදිරිපත් කළ H-1B අයදුම්පත් සංඛ්‍යාව පෙර වසරට සාපේක්ෂව සියයට 38.5කින් පහත වැටී තිබේ.
ඒ අනුව, 2026 මූල්‍ය වර්ෂයේදී වාර්තා වූ අයදුම්පත් 343,981 සිට 2027 මූල්‍ය වර්ෂයේදී එය 211,600 දක්වා අඩුවී ඇත. ඇමරිකා එක්සත් ජනපදයේ රැකියා අපේක්ෂා කරන ඉන්දියානු වෘත්තිකයන් අතර ජනප්‍රිය H-1B වීසා වැඩසටහන පසුගිය කාලයේ දැඩි විවේචන සහ පරීක්ෂාවට ලක්ව තිබුණි.
මීට පෙර ධවල මන්දිරය විසින් වැටුප් අවශ්‍යතා දැඩි කිරීම, අයදුම්පත් ගාස්තු ඉහළ නැංවීම ඇතුළු පියවර රැසක් හඳුන්වා දී තිබූ අතර, එමගින් වීසා පද්ධතියේ අපයෝජනය අවම කිරීම අරමුණු කර තිබූ බව සඳහන් වේ.