වෛද්‍යවරු ඉදිරි පැය 24 ත් දැඩි වෙයි - සියලුම රජයේ රෝහල් ගැන දැනුම්දීමක්
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඊයේ (23) දින ආරම්භ කර තිබූ වැඩ වර්ජනය ඉදිරි පැය 24 දක්වාද ක්‍රියාත්මක බව එම සංගමය සඳහන් කරයි.
ඒ අනුව එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය සංජය තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ මෙම වැඩවර්ජනය ප්‍රධාන රෝහල්, උප ප්‍රධාන රෝහල් ඇතුළු සියලුම රෝහල්වල ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.
එසේ වුවත් මානුෂීය පදනම මත ළමා රෝහල්, මාතෘ රෝග, පිළිකා සහ වකුගඩු සම්බන්ධ රෝහල්වල මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක නොවන බවත් දැනුම් දුන් විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියේ හදිසි ප්‍රතිකාර සේවාද කිසිදු අඩාල වීමකින් තොරව පවත්වාගෙන යාමට කටයුතු කර තිබෙන බවයි.
එසේම මෙම වැඩවර්ජනය හදිසියේ ඇති වූ තත්ත්වයක් නොවන බවත් සඳහන් කළ විශේෂඥ වෛද්‍යවරයා, වෛද්‍යවරුන්ට මතුව ඇති මෙම ගැටලු සම්බන්ධව අවස්ථා කිහිපයකදීම රජය සමග සාකච්ඡා කළ බවත් ඇතැම් අවස්ථාවල මෙම සාකච්ඡා සඳහා අවස්ථාවක් ලබා නොදීමටද රජය විසින් කටයුතු කළ බවත් කියා සිටියා.
මෙම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය සංජය තෙන්නකෝන් මහතා සඳහන් කළේ,
"අපි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹුණා මීට පැය 24කට කළින් ඒක අපි ගත්තේ පැය 48ක් ඒ කියන්නේ තව පැය 24ක් අපි මේක ඒ විදිහටම පවත්වාගෙන යනවා. ප්‍රධාන රෝහල්, උප ප්‍රධාන රෝහල් සියල්ලක්ම මේකට සම්බන්ධ වෙලා ඉන්නවා හැබැයි ළමා රෝග, මාතෘ රෝග, පිළිකා රෝග, වකුගඩු රෝග සම්බන්ධයෙන් ක්‍රියා කරන රෝහල් අපි මේකට සම්බන්ධ කරගන්නේ නෑ මානුෂීය පදනම මත. වර්ජනයක් කියුවාට මේක හදිසියේ ඇතිවූ තත්ත්වයක් නෙමෙයි. අපි ඉතාමත් දීර්ඝ කාලයක් අපේ ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් පැවැතියා. ගොඩක් වෙලාවට රජය එතරම් කැමැත්තකින් මේ සාකච්ඡාවට සම්බන්ධ වුණෙත් නෑ. සමහර වෙලාවට අපිට සාකච්ඡාවක් ලබා දුන්නෙත් නැහැ. මේ ප්‍රශ්න සම්බන්ධයෙන් රජය අපිත් එක්ක සුහදශීලි සාකච්ඡාවක් ලබා දුන්නා නම් අපිට වර්ජනයකට යන්න ඕනේ නැහැ. නමුත් රජය බොහොම සංවෘත්ත තත්ත්වයක් තමයි මේ ප්‍රශ්න සම්බන්ධයෙන් අනුගමය කළේ. මේ ප්‍රශ්න සම්බන්ධයෙන් යම් කරුණු විකෘති කරලා සෞඛ්‍ය ඇමතිතුමා පාර්ලිමේන්තුවේදීත් අදහස් දක්වලා සත්‍ය තනිකර විකෘති කරලා.
මොකද අපි එතුමත් එක්ක සාකච්ඡා කරන්න උපරිම වශයෙන් අවස්ථාව ඉල්ලුවත් බොහොම අඩුයි ඒ සඳහා අපිට අවස්ථාව දුන්නේ. මෙතනදි රජයේ රෝහල්වල සාමාන්‍ය කටයුතු තමයි අඩපණ වෙලා තියෙන්නේ නමුත් හදිසි ප්‍රතිකාර සේවා කිසිදු අඩුවක් නැතිව කරගෙන යනවා. යම් රෝගියෙක් ආවොත් අපි නොපැකිළිව ඒ කටයුතු සිදුකරගෙන යනවා. කිසියම් කෙනෙක් හිතනවා නම් මේ තමන්ගේ ජීවිතයට තර්ජනයක් මේ සෞඛ්‍ය තත්ත්වය හොඳ නෑ කියලා රජයේ රෝහලකට ඇතුළත් වෙන්න පුළුවන් අපි එයාව හොඳින් බලා ගන්නවා."