ගෝඨාභය රාජපක්ෂගේ විදේශ ගමන් තහනම ඉවත් කිරීමේ ඉල්ලීමට නොවැම්බර් 4 වනදා කරුණු දක්වන ලෙස CIDයට නියෝග

Report

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස ඉදිරිපත් කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා නොවැම්බර් 4 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නියෝග කළේය

වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා සිංගප්පූරුවට යාමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කණ්ඩායම ගොනු කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා මෙම නියෝගය නිකුත් කළේය.

මීට පෙර ශ්‍රී ලංකාවේ රෝහලකදී සිදුකළ හෘද සැත්කමකින් අනතුරුව වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට යාමට අවශ්‍ය වී ඇති බව හිටපු ජනාධිපතිවරයාගේ නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්හ.

මෙම ඉල්ලීම සලකා බැලූ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ද විවෘත අධිකරණයේ පෙනී සිටියේය. කෙසේ වෙතත්, අදාළ නඩුවේ පැමිණිලිකාර පාර්ශ්වය වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.

ඒ අනුව, විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීම සම්බන්ධයෙන් සිය ස්ථාවරය ඉදිරිපත් කිරීම සඳහා නොවැම්බර් 4 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා CIDයට නියෝග කළේය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ හිටපු බුද්ධි අංශ නිලධාරීන් කිහිපදෙනෙකුට මෙම විදේශ ගමන් තහනම පනවා ඇති බව සඳහන් වේ.


සුළු මොහොතකට පෙර හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂත් අධිකරණයට එයි

සුළු මොහොතකට පෙර හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂත් අධිකරණයට එයි