“පවන්ගේ පිත්ත බාබර් අසාම් අතට ගෙන පරීක්ෂා කරයි” - එදා සනත්ගේ පිත්ත ගංගුලි අතට ගත් හැටිත් යළි මතක් වෙයි!
ශ්රී ලංකා ක්රිකට් පිටියේ සිදුවූ අපූරු අවස්ථා දෙකක් අතර සමානකමක් මේ වන විට අවධානයට ලක්ව තිබෙනවා. ඔබත් හොඳ ක්රීඩා ලෝලියෙකු නම්, මේ සිදුවීම් දෙකම එකවර ඔබේ මතකයට නැඟෙන්න පුළුවන්.
ඒ, ඊයේ (27) පාකිස්ථානය සමඟ පැවති එක්දින තරගය අවසානයේ පවන් රත්නායක අතේ තිබූ පිත්ත බාබර් අසාම් අතට ගෙන සිටින අයුරු දැක්වෙන ඡායාරූපයත්, මීට වසර 19කට පෙර ඉන්දීය හිටපු නායක සෞරව් ගංගුලි, ශ්රී ලංකා හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරියගේ පිත්ත අතට ගෙන සිටින අයුරු දැක්වෙන ඡායාරූපයත් සමඟ සමාජ මාධ්ය තුළ කතාබහට ලක්වීමයි.
2007 පෙබරවාරි 8 වැනිදා ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර කොල්කටාහි ඊඩන් ගාඩ්න්ස් ක්රීඩාංගණයේ පැවති එක්දින තරගය වර්ෂාව හේතුවෙන් නතර කිරීමට සිදුවුණා.
එම අවස්ථාවේදී ක්රීඩකයන් ක්රීඩාංගණයෙන් පිටව යන අතරතුර ගංගුලි, ජයසූරියගේ පිත්ත අතේ තබාගෙන සිටින අයුරු ඡායාරූපයක සටහන් වී තිබෙනවා.
එම ඡායාරූපය Getty Images හරහා ප්රසිද්ධ වී ඇති අතර, එහි දැක්වෙන සිදුවීම අදාළ තරගය වර්ෂාව හේතුවෙන් නතර කළ අවස්ථාවට සම්බන්ධ බව සඳහන් වෙනවා.
වසර ගණනාවකට පසු, ඊයේ පාකිස්ථානය සමඟ පැවති තරගයේදී ද පවන් රත්නායකගේ පිත්ත සම්බන්ධයෙන් මෙවැනිම අවධානයක් ඇති කරන ඡායාරූපයක් දැකගැනීමට ලැබීම විශේෂත්වයක්.
2007 වසරේ එම ඡායාරූපය සම්බන්ධ සිදුවීම සිදුවන කාලය වන විට සනත් ජයසූරිය ලොව ප්රකට ප්රහාරාත්මක පිතිකරුවෙකු ලෙස නමක් දිනා සිටියා.
අද වන විට පවන් රත්නායක ද ශ්රී ලංකා කණ්ඩායමට නව බලාපොරොත්තු එක් කරමින්, සුවිශේෂී වාර්තා කිහිපයකට හිමිකම් කියන පිතිකරුවෙකු ලෙස අවධානය දිනාගෙන සිටීම විශේෂත්වයක්.