හිටපු ඇමති ලක්ෂ්මන් යාපාගේ අල්ලස් නඩුවටත් නියෝගයක්
හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජයන්ත එදිරිසිංහ යන අයට විරුද්ධව අල්ලස් කොමිසම මඟින් ගොනුකර ඇති නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට ලබන සැප්තැම්බර් මස 07 වන දින කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර ඇති බව වාර්තා වේ.
රජයට රුපියල් ලක්ෂ 17කට අධික පාඩුවක් සිදුකිරීම තුළින් දූෂණය නැමති වරද සිදු කිරීම යටතේ මෙසේ ඔවුන්ට විරුද්ධව අල්ලස් කොමිසම චෝදනා කර ඇති බව සඳහන්.
ඒ අනුව මෙම නඩුව අද (20) දින කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්ත මහතා ඉදිරියේ කැඳවා ඇත. එහිදී අල්ලස් කොමිසම සඳහා පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම අධිචෝදනා පත්‍රයට සංශෝධන කිහිපයක් එක්කිරීමට අවසර ඉල්ලා සිටි බව සඳහන්.
ඒ අනුව ලද අවසරය මත මෙම අධිචෝදනා පත්‍රය හා සම්බන්ධ ලේඛන ඇතුළත් සංයුක්ත තැටියක් විත්තියේ නීතිඥවරුන්ට ලබා දී තිබෙනවා.
එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජේ රාජරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ලේඛන මුද්‍රිත පිටපත් ලෙස ලබා දෙන්නේ නම් එය ඉතා වැදගත් බව සඳහන් කළා.
එයට පිළිතුරු ලෙස අල්ලස් කොමිසමේ නීතිඥවරිය මෙම නඩුකරයට අදාළව ඇමුණුම් වශයෙන් ලේඛන රාශියක් ඉදිරිපත් වී ඇති නිසා ඒවා සංයුක්ත තැටියක් වශයෙන් ලබාදීමට කටයුතු කළ බව ප්‍රකාශ කළා.
එනිසා විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ජනරජයට සිදුවන අපහසුව සැලකිල්ලට ගෙන අඳාළ සංයුක්ත තැටිය භාරගැනීමට සූදානම් බවත් යම් ලේඛනයක් පිළිබඳව ගැටලුවක් මතු වුනොත් එහි පිටපත් ලබාදෙන ලෙසත් ඉල්ලීම් ඉදිරිපත් කර ඇත.
ඒ අනුව විනිසුරුවරයා ද අල්ලස් කොමිසමට දැනුම් දුන්නේ විත්තියෙන් යම් ලේඛනයක් ඉල්ලා සිටියහොත් එය පිටපත් ලෙස ලබා දෙන ලෙසයි.
තවද විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිකරුවන්ට එල්ල කර තිබෙන අධිචෝදනා සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව දැනුම් දුන්නද විනිසුරුවරයා එම මූලික විරෝධා නඩු විභාගය ආරම්භ කරන අවස්ථාවේදී ඉදිරිපත් කරන ලෙස දන්වා ඇත.
ඉන්පසු මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට එළඹෙන සැප්තැම්බර් මස 7 වනදා කැඳවන ලෙස අධිකරණය නියම කර තිබෙනවා.