ගොවීන්ට අසුබ ආරංචියක් - විශාල පාඩුවක් හේතුව මෙන්න
මෙම දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගොයම් කහවීමේ තත්ත්වය වාර්තා වී ඇති අතර, නාච්චාදූව කෘෂිකර්ම උපදේශක කාර්යාලය සඳහන් කළේ මෙයට ප්‍රධාන හේතු ලෙස වටපණු හානිය සහ පෝෂණ ඌනතාව බලපා ඇති බවයි.
මෙම තත්ත්වය නිසා වගාවන් දුඹුරු පුල්ලි දිලීර රෝගයට වැඩි ප්‍රවණතාවයකට පත් වීම නිරීක්ෂණය වී ඇත. ගොයම් ගස් කුරු වීම, වර්ධනය අඩු වීම සහ කොළ කහ දුඹුරු පැහැ වීම මෙහි ලක්ෂණ වේ.
විශේෂයෙන් වටපණු හානිය ඇති විට, ගොයම් ගසේ කිරි මුල්වල කෙළවර ‘හොකී පිත්තක්’ ආකාරයට මූල ගැටිති ලෙස හටගන්නා බව කෘෂිකර්ම නිලධාරින් පෙන්වා දෙති.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කරන්නේ නිර්දේශිත පොහොර සහ කීලේටඩ් ක්ෂුද්‍ර පෝෂක පොහොර යෙදීම, කුඹුරේ ජල මට්ටම අඟල් භාගයක් පමණ පවත්වා ගැනීම, ගුණාත්මක දියර පොහොර භාවිතය සහ දිලීර හානිය පවතිනවිට නිර්දේශිත රසායනික දිලීර නාශක යෙදීම යන්නකි. මෙම රෝග ලක්ෂණ වගාවේ පවතින විට, වහාම ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශකවරයා අමතා උපදෙස් ලබාගන්නා ලෙස නාච්චාදූව මූලස්ථාන කෘෂිකර්ම උපදේශක මහින්ද දිසානායක මහතා ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.