සියල්ල කළඹමින් දළ කපා රැගෙන ගිය ඇතාගේ සැකකරු මෙන්න
කහටගස්දිගිලිය, මීමින්නාවල කුඹුක්වැව ප්රදේශයේදී දළයක් නොමැතිව මියගොස් සිටියදී සොයාගත් ඇතාගේ මළසිරුර සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී, එම ඇතාගේ දළය කපා ඉවත් කළ බවට සැකකෙරෙන හිටපු සිවිල් ආරක්ෂක බලකා නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අනුරාධපුර අඩවි ආරක්ෂක ධම්මික සංජීව මහතාගේ මඟපෙන්වීම යටතේ කහටගස්දිගිලිය අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ 34 හැවිරිදි සැකකරුවෙකි.
සැකකරුගේ නිවසේ සහ ඔහුගේ වගා පැලේ තිබී අලි වෙඩිල්ලක්, පෙට්රල් යොදා සකස් කළ පුපුරණ ඇටවුමක්, බඳින තුවක්කුවක්, වෙඩි බෙහෙත් සහ ඊට අදාළ උපාංග ඇතුළත් මල්ලක්, වක් පිහියක්, යකඩ කපන කියතක් මෙන්ම ඇතා සිටි ස්ථානයෙන් කපාගත් බවට සැක කෙරෙන ලී දඬු කිහිපයක් ද වනජීවී නිලධාරීන් භාරයට ගෙන ඇත.
+අත්අඩංගුවට ගත් යකඩ කපන කියත ඇතාගේ දළය කපා ඉවත් කිරීමට යොදාගන්නට ඇති බවට වනජීවී නිලධාරීන් සැක පළ කරයි. සැකකරු අද (05) කහටගස්දිගිලිය මහෙස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන නොවැම්බර් 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්රාත්වරයා නියෝග කළේය.