දිස්ත්‍රික්ක 18කට හදිසි 'ඇම්බර්' වර්ණ අනතුරු ඇඟවීමක් - හෙට අලුයම වෙනකම් දැඩි අකුණු සහ තද වැසි අවදානමක්
දිවයිනේ දිස්ත්‍රික්ක 18ක් ආවරණය වන පරිදි දැඩි අකුණු සහිත ගිගුරුම් සහිත වැසි පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් 'ඇම්බර්' (Amber) වර්ණ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය මගින් නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට (06) අලුයම 1.00 දක්වා බලාත්මක වේ.
ඒ අනුව, අද පස්වරු 1.00න් පසුව දිවයිනේ අදාළ ප්‍රදේශවල ස්ථාන කිහිපයක දැඩි අකුණු සහිත ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කොළඹ, ගම්පහ, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතර, හම්බන්තොට, පුත්තලම, රත්නපුර, අනුරාධපුර, බදුල්ල, මන්නාරම, මාතලේ, මොනරාගල, නුවරඑළිය සහ වවුනියාව යන දිස්ත්‍රික්ක සඳහා මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ.
දැඩි අකුණු හේතුවෙන් එළිමහනේ රැඳී සිටින පුද්ගලයන්ට බරපතළ අනතුරු සිදුවිය හැකි අතර, තුවාල සිදුවීමේ මෙන්ම ජීවිත හානි ඇතිවීමේ අවදානමක් ද පවතින බව දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
මීට අමතරව විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණවලට හානි සිදුවීම, විදුලි හා සන්නිවේදන සේවාවලට බාධා ඇතිවීම මෙන්ම ප්‍රවාහන කටයුතුවලට ද බලපෑම් එල්ල විය හැකිය.
ඇතැම් ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල සුළං සහ තද වැසි ඇතිවිය හැකි අතර, එමඟින් ප්‍රදේශීය වශයෙන් යටිතල පහසුකම්වලට හානි සිදුවීමේ හැකියාව ද පවතී.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී එළිමහන් ක්‍රීඩා, ඉදිකිරීම් කටයුතු, කෘෂිකාර්මික කටයුතු සහ විනෝදාස්වාද කටයුතුවලින් තාවකාලිකව ඉවත්ව සිටින ලෙස මහජනතාවට උපදෙස් දී තිබේ.
එමෙන්ම වෙරළ තීරයන්, දිය නෑමේ ස්ථාන, වැව්, ගංගා සහ අනෙකුත් ජල මූලාශ්‍රවලින් ඉවත්ව, ශක්තිමත් ගොඩනැගිල්ලක් තුළ හෝ වහලක් සහිත වාහනයක් තුළ ආරක්ෂිතව රැඳී සිටින ලෙස ද දැනුම් දී ඇත.
තනිව පිහිටි ගස්, කූඩාරම්, විවෘත මඩු සහ අර්ධ වශයෙන් ආවරණය වූ ඉදිකිරීම් යටතේ රැකවරණය ලබා ගැනීමෙන් වළකින ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාද කරයි.
තවද, ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී විදුලි උපකරණ සහ විදුලි රැහැන් පද්ධති භාවිතයෙන් වැළකී සිටින ලෙස ද මහජනතාවට වැඩිදුරටත් උපදෙස් දී තිබේ.