රුපියල් මිලියන 25ක දඩ මුදලින් ඉතිරිය ගෙවීමට ප්‍රසන්න රණතුංගට කල් ඉල්ලයි
කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩ කිරීමට අනුමැතිය ලබාදීම සඳහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 64ක කප්පම් මුදලක් ඉල්ලා තර්ජනය කිරීමේ සිද්ධියට වරදකරු වූ හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට කොළඹ මහාධිකරණය නියම කළ රුපියල් මිලියන 25ක දඩ මුදලින් ඉතිරි කොටස (රුපියල් ලක්ෂ 90ක්) ගෙවීම සඳහා අද (05) අධිකරණය විසින් තවත් කාලයක් ලබා දී තිබේ.
අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී හිටපු අමාත්‍යවරයා සිය නීතිඥවරයා මාර්ගයෙන් ඉතිරි මුදල ගෙවීම සඳහා සහනයක් ලෙස අමතර කාලයක් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග නියෝග කළේ ඉතිරි මුදල ගෙවීම සඳහා ලබන වසරේ (2027) පෙබරවාරි 01 වැනිදා යළි නඩුව කැඳවන බවයි.
2015 වසරේ අප්‍රේල් 10 වැනිදා මීතොටමුල්ල ඉඩමක් ගොඩකිරීමට අවසර දීම වෙනුවෙන් මොරටුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා, ඉන් රුපියල් මිලියන 15ක් ලබාගනිමින් බියගන්වා මුදල් අයකිරීම ඇතුළු චෝදනා 05ක් යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබුණි.
මෙම නඩුවේ අනෙක් විත්තිකරුවන් ලෙස ප්‍රසන්න රණතුංග මහතාගේ බිරිඳ වන මොරීන් ස්ටෙලා රණතුංග සහ නරේෂ් කුමාර් ෆාරික් යන අය නම් කර තිබූ අතර, නඩුවට ඉදිරිපත් නොවූ කුමාර් ෆාරික් නමැති 03 වැනි විත්තිකරු නොමැතිව අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 241 වැනි වගන්තිය යටතේ නඩු විභාගය පවත්වා නිමකරන ලදී.