සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් 26ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම අද (04) ආරම්භ විය.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අදාළ පෙත්සම් විභාගයට ගැනිණි.
ආණ්ඩුවේ පොරොන්දු සේරම ෆේල් - වැට් බදු, තෙල් මිල සහ IT බදු ගැන නාමල් රාජපක්ෂගෙන් පාර්ලිමේන්තුවේදී දැවැන්ත ප්‍රහාරයක්
එහිදී පෙත්සම්කාර මාලින්ද සෙනවිරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙන්වා දුන්නේ මෙම පනත් කෙටුම්පත තුළ "බරපතළ අපරාධ" යන්න අර්ථකථනය කර ඇති ආකාරය අතිශය භයානක බවයි.
බුද්ධිමය දේපොළ, සුරාබදු මෙන්ම වන සත්ත්ව හා වෘක්ෂලතා පනත යටතේ එන වැරදි පවා ඊට ඇතුළත් කර ඇති බවත්, සැකකරුවන් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග නිකුත් කිරීමේ බලය විධායකයට ලබාදී මහෙස්ත්‍රාත්වරයා සතු අභිමතානුසාරී බලය ඉවත් කර ඇති බවත් ඔහු අධිකරණය හමුවේ පැවසීය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සඳහන් කළේ, අධිකරණය ඉක්මවා ගිය බලයක් පොලිසියට ලබාදීමට මෙයින් යෝජනා කර ඇති බැවින් එය වැරදි ලෙස අවභාවිත වීමේ දැඩි අවදානමක් පවතින බවයි.
විශේෂයෙන්ම අධිකරණ වාර්තාකරණයට ද බාධා එල්ල වන ආකාරයේ විධිවිධාන ඊට ඇතුළත් බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බැවින් මෙම පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවත් ඔහු අවධාරණය කළේය.
එමෙන්ම ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා සහ නීතිඥ සුරේන් ප්‍රනාන්දු යන මහත්වරුන් ද අධිකරණය හමුවේ කරුණු දක්වමින්, පනත් කෙටුම්පත මගින් මහෙස්ත්‍රාත්වරයා හුදෙක් රබර් මුද්‍රාවක් බවට පත් කර ඇති බවත්, අධිකරණ මැදිහත්වීමකින් තොරව පුද්ගල නිදහස සීමා කිරීමට විධායකයට අවකාශ සලසා ඇති බවත් පෙන්වා දුන්හ. පෙත්සම් විභාගය තවදුරටත් සිදු කෙරේ.