''ඕවල් පිටියේ තීරණාත්මක සටනේ කාසියේ වාසිය එංගලන්තයට'' - ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් ආරම්භයේදීම ප්‍රබල පීඩනයක්
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ ශූරයන් තීරණය කරන තෙවැනි සහ අවසන් එක්දින තරගය අද (27) ලන්ඩනයේ කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.
කාසියේ වාසිය දිනාගත් එංගලන්ත නායක හැරී බෘක් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, තරගයේ ආරම්භයේදීම ශ්‍රී ලංකා පන්දු යවන්නෝ එංගලන්ත පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට සමත් වූහ.
එංගලන්ත ඉනිමේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමින් ටොම් බැන්ටන් ලකුණු 5ක් ලබා සිටියදී, අනෙක් අන්තයේ සිටි බෙන් ඩකට්ට ලකුණු රැස් කිරීමට අවස්ථාවක් නොලැබිණි.
දිල්ෂාන් මධුශංක යැවූ පන්දුවකට ඩකට් පහරක් එල්ල කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී පන්දුව පිත්තේ දාරය මගහැර කඩුල්ලේ ඉහළ කොටසේ වැදීමත් සමඟ ඔහු දැවී ගියේය. ඒ අනුව එංගලන්ත ඉනිම ලකුණු 6කට එක් කඩුල්ලක් ලෙස සටහන් වූ අතර, ශ්‍රී ලංකාවට තරගයේ මුල්ම සාර්ථකත්වය හිමි විය. මෙම තරගය ආරම්භ වන්නේ තරගාවලිය 1-1ක් ලෙස සම තත්ත්වයේ පවතින පසුබිමකය.
පළමු එක්දින තරගයේදී එංගලන්තය ලකුණු 89ක ජයක් වාර්තා කළ අතර, දෙවැනි තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 16කින් ජයගනිමින් තරගාවලිය සම කිරීමට සමත් විය.
ඒ අනුව අද පැවැත්වෙන තරගය තරගාවලියේ ජයග්‍රාහකයා තීරණය කරන තීරණාත්මක තරගය බවට පත්ව තිබේ. අවසන් එක්දින තරගය සඳහා එංගලන්ත කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුකර තිබේ.
ආබාධයකට ලක්ව සිටින ජොස් බට්ලර් වෙනුවට ජෝර්ඩන් කොක්ස් කණ්ඩායමට කැඳවා ඇති අතර, ලියම් ඩෝසන් සහ සොනී බේකර්ද අවසන් සංචිතයට එක්ව සිටිති. රෙහාන් අහමඩ් සහ ජොෂ් ටංග් මෙම තරගයට ඇතුළත් කර නොමැත.
මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි එක්දින තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදු නොකරමින් අද තරගයට පිවිස තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම: පැතුම් නිස්සංක, කමිඳු මෙන්ඩිස්, කුසල් මෙන්ඩිස් (නායක/කඩුලු රකින්නා), පවන් රත්නායක, චරිත් අසලංක, ජනිත් ලියනගේ, දුනිත් වෙල්ලාලගේ, සචින්දු කොළඹගේ, එෂාන් මාලිංග, අසිත ප්‍රනාන්දු සහ දිල්ෂාන් මධුශංක.
එංගලන්ත කණ්ඩායම: ටොම් බැන්ටන්, බෙන් ඩකට්, ජෝ රූට්, හැරී බෘක් (නායක), ජෝර්ඩන් කොක්ස්, විල් ජැක්ස්, ලියම් ඩෝසන්, ගස් ඇට්කින්සන්, ජේමි ඕවර්ටන්, ජොෆ්රා ආචර් සහ සොනී බේකර්.