දෙසැම්බර් අගදී විවෘත වන කොළඹ වරාය නගරයේ අලුත්ම අරුමය ගැන ඔබ දැනගත යුතුම දේ
දකුණු ආසියාවේ පළමු Air Dome ව්‍යුහය කොළඹ වරාය නගරයේ ස්ථාපිත කර තිබේ.
පුද්ගලයින් 4,000කට එකවර සහභාගී විය හැකි පරිදි නිර්මාණය කර ඇති මෙම විශේෂිත ගෘහස්ථ උත්සව පරිශ්‍රය එළැඹෙන දෙසැම්බර් මාසය අවසන් වන විට මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.
කෙසේ වෙතත්, පරිශ්‍රය සම්පූර්ණයෙන්ම මෙහෙයුම් කටයුතු සඳහා විවෘත කිරීමට පෙර සිවිල් ඉදිකිරීම් කටයුතු කිහිපයක් අවසන් කිරීමට නියමිතය.
CHEC Port City Colombo සමාගමේ විධායක අධ්යක්ෂ සහ ඉඩම් සංවර්ධන හා අලෙවි අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ශලක විජේරත්න සඳහන් කර ඇත්තේ සම්මන්ත්රණ, ප්‍රදර්ශන, ව්‍යාපාරික හමුවීම් සහ විශාල පරිමාණයේ උත්සව පැවැත්වීම සඳහා මෙම පරිශ්‍රය භාවිත කිරීමට සැලසුම් කර ඇති බවයි.

ඩුබායි ඇතුළු ජාත්‍යන්තර නගරවල ක්‍රියාත්මක මෙවැනි පහසුකම් ආදර්ශයට ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ.
මේ අතර, කොළඹ වරාය නගරයේ යෝජිත ස්ථිර සම්මේලන හා ප්‍රදර්ශන මධ්‍යස්ථානය ඉදිකර අවසන් කරන තෙක් මෙම Air Dome පරිශ්‍රය අතුරු පහසුකමක් ලෙස භාවිත කිරීමට නියමිතය.
යෝජිත ස්ථිර මධ්‍යස්ථානය තුළ පුද්ගලයින් 4,000කට සහභාගී විය හැකි ගෘහස්ථ බහුකාර්ය ශාලාවක් මෙන්ම පුද්ගලයින් 5,000කට පහසුකම් සැලසිය හැකි එළිමහන් පරිශ්‍රයක් ද ඉදිකිරීමට සැලසුම් කර ඇත.
ඊට අමතරව, එම මධ්‍යස්ථානයට යාබදව කාමර 400ත් 450ත් අතර සංඛ්‍යාවකින් සමන්විත තරු පන්තියේ හෝටලයක් ඉදිකිරීම ද කොළඹ වරාය නගරයේ ප්‍රධාන සැලැස්මට ඇතුළත් කර තිබේ.