නොවැම්බර් 30 වැනිදා පාසල් වැසෙයිද? - අයවැයට එරෙහිව ගුරුවරු වෘත්තීය සමිති කළු විරෝධතාවක [VIDEO]
2027 අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට අපේක්ෂිත සහන නොලැබීමට විරෝධය පළ කරමින් අද (23) පාසල් පද්ධතිය තුළ කළු විරෝධතාවක් ක්‍රියාත්මක කරන බව විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමයේ ලේකම් නිමල් මුදුන්කොටුව මහතා පවසනවා.
අයවැයට එරෙහිව රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති රැසක් අද දිනයේ විවිධ වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වන බවත්, බොහෝ රාජ්‍ය ආයතන ඉදිරිපිට දිවා ආහාර විවේක කාලයේදී විරෝධතා පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් ඔහු සඳහන් කළා.
පාසල්වල මේ වන විට වාර විභාග පැවැත්වෙන බැවින් අධ්‍යාපන පද්ධතිය තුළ විරෝධතා උද්ඝෝෂණ වෙනුවට කළු විරෝධතාවක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවයි ඔහු පැවසුවේ.
ඒ සඳහා ආණ්ඩුවට සහාය දක්වන විදුහල්පති සංගමය හැර අනෙකුත් විදුහල්පති සංගම් මෙන්ම ක්‍රියාකාරී ගුරු සංගම් 20කට වැඩි සංඛ්‍යාවක් එක්ව සිටින බව ද නිමල් මුදුන්කොටුව මහතා ප්‍රකාශ කළා.
අද ක්‍රියාත්මක කරන කළු විරෝධතාවයට රජයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් ලබන 30 වැනිදා පාසල් ඇතුළු සියලු රාජ්‍ය ආයතන වසා දමමින් එක්දින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සමස්ත වෘත්තීය සමිති ව්‍යාපාරය සැලසුම් කර ඇති බව ද ඔහු අනතුරු ඇඟවූවා.
එමෙන්ම, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කඩාකප්පල් කිරීම සඳහා විවිධ ප්‍රකාශ සිදුකරන බවට ආණ්ඩුවට සහාය දක්වන පාර්ශ්වයන්ට චෝදනා කළ ඔහු, එම ක්‍රියාකලාපය හෙළා දකින බව ද සඳහන් කළා.
මෙම විරෝධතාව දේශපාලන පක්ෂයකට සම්බන්ධ කර දැක්වීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ කරන බව පැවසූ ඔහු, කුමන ආණ්ඩුවක් බලයේ සිටිය ද වෘත්තීය සමිතිවල වගකීම වන්නේ සේවකයන්ගේ ගැටලු වෙනුවෙන් පෙනී සිටීම බව අවධාරණය කළා.
තවද, මෙම විරෝධතාව විපක්ෂයට ඡන්දය ලබාදුන් පිරිසකගේ ක්‍රියාමාර්ගයක් නොවන බවත්, වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීමට ඡන්දය ලබාදුන් රාජ්‍ය සේවකයන් ද ඊට එක්ව සිටින බවත් ඔහු ප්‍රකාශ කළා.
රාජ්‍ය සේවකයන්ගෙන් සියයට 80ක් පමණ තැපැල් ඡන්දය භාවිත කරමින් වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීමට සහාය ලබාදුන් බව සඳහන් කළ නිමල් මුදුන්කොටුව මහතා, තමන් පත්කරගත් ආණ්ඩුවෙන් අපේක්ෂා කළ ඉල්ලීම් ඉටු නොවීම හේතුවෙන් මෙම විරෝධතාව පළ කරන බව වැඩිදුරටත් කියා සිටියා.