සුනාමි බියක් ඇති කරගන්න එපා - නිල නිවේදනය මෙන්න
ඉන්දියානු සාගරයේ සිදුවූ රික්ටර් මාපකයේ 6.5ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාව හේතුවෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම මධ්‍යස්ථානය මේ බව තහවුරු කර ඇත.
ඉන්දියානු සාගරයේ මොරිෂස් සහ රියූනියන් දූපත් ආශ්‍රිත කලාපයේ අද (24) පස්වරුවේ මෙම භූමිකම්පාව සිදුව තිබුණි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයට අනුව, භූමිකම්පාව අද පස්වරු 4.36ට පමණ සිදුව ඇති අතර එය මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 10ක ගැඹුරින් හටගෙන තිබේ.
එහි පිහිටීම අක්ෂාංශ 17.78 දකුණ සහ දේශාංශ 65.82 නැගෙනහිර ලෙස සටහන්ව තිබූ බව පස්වරු 5.10ට නිකුත් කළ භූමිකම්පා නිවේදනයේ දැක්වේ.
කෙසේ වෙතත්, මෙම භූමිකම්පාවෙන් ශ්‍රී ලංකාවට සුනාමි තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් නොමැති බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.