වැලිකන්ද වී ගබඩාවට වන අලි ප්රහාරයක් - විදුලි වැට බිඳ දමා වී මළු විනාශ කරයි
වී අලෙවි මණ්ඩලයට අයත් වැලිකන්ද වී ගබඩා සංකීර්ණයට අද (29) අලුයම වන අලි රංචුවක් කඩා වැදී එහි දොරටු බිඳ දමා වී මලු කිහිපයක් කා විනාශ කර ඇති බව වැලිකන්ද පොලිසිය ප්රකාශ කරයි.
ඒ අනුව මෙම ගබඩා සංකීර්ණය වටා ආරක්ෂිත විදුලි වැටක් සවිකර තිබුණද, වන අලි විසින් ගස් අතු සහ කොට විදුලි වැට මතට දමා එය අක්රිය කර ගබඩා පරිශ්රයට ඇතුළු වී ඇති බව ගබඩා කළමනාකාරවරයා සඳහන් කරයි.
වන අලි ගබඩාව ආක්රමණය කරන අවස්ථාවේදී එහි ආරක්ෂාවට සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන් යොදවා සිටි අතර, ඔවුන් අලි වෙඩි භාවිතා කරමින් වන අලි පලවා හැරීමට දැඩි උත්සාහයක නිරත වී තිබේ.
කෙසේ වෙතත් අලි වෙඩි ප්රහාර මධ්යයේ වුවද වන අලි ගබඩාවේ දොරටුවලට සහ තැන්පත් කර තිබූ වී තොගවලට සැලකිය යුතු හානියක් සිදු කර තිබෙන බවට වාර්තාවේ.
ප්රදේශයේ පවතින දැඩි නියඟය හෝ ආහාර හිඟය හේතුවෙන් වන අලි මෙලෙස ජනාවාස හා රජයේ ගබඩා වෙත පැමිණීම ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.