තරුණයෙක්ව පැහැරගෙන - ටික්ටෝක් වලින් තරුණියකට කතා කරාට වැඩ වරදී
ඊයේ (25) රාත්‍රියේ යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේදී තරුණයෙක් පැහැර ගැනීමේ සිද්ධියකට සැකපිට තරුණයන් 08 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නෝර්වඩුඩ් පොලිසිය පවසයි.
පොලිසිය වැඩිදුරටත් පවසන්නේ යාපනය ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටි 23 හැවිරිදි බගවන්තලාව ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් මෙසේ පැහැරගෙන ගොස් පහර දී ඇති බවයි.
මෙම තරුණයා යාපනය ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින අතරතුර නෝර්වුඩ් වෙන්චර් වතුයායේ පදිංචි දැනට විදේශ රැකියාවක නිරතව සිටින කාන්තාවකට ටික්ටොක් සමාජ මාධ්‍ය ඔස්සේ කෙටි පණිවිඩ යවා ඇති බවට චෝදනාවක් එල්ල වී ඇත.
නෝර්වුඩ් පොලිසියට වාර්තා වී ඇති ආකාරයට අදාළ සිදුවීම දැනගත් එම කාන්තාවගේ සහෝදරයන් ඇතුලු 08 දෙනෙකු යාපනය ප්‍රදේශයට ගොස් එම තරුණයාව රැගෙන ආ බවයි.
මෙම තරුණයා පැහැර ගැනීම සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිසිය මගින් නෝර්වුඩ් පොලිසියට කළ දැනුම් දීමක් මත එම සැකකරුවන් ගමන් ගත් වාහනය සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
පහර කෑමට ලක් වූ තරුණයා දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ වෑන් රථය හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.