බන්ධනාගාරවල සිටින බහුතරයක් මුල් ළමා විය අසාර්ථක වූ පුද්ගලයන් - රටේ අනාගත පරපුර වෙනුවෙන් හර්ෂණ කට අරී
බන්ධනාගාරවල සිටින බහුතරයක් මුල් ළමා විය අසාර්ථක වූ පුද්ගලයන් බව පැවසූ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා නීතියෙන් මත් ද්‍රව්‍ය සැපයුම් ජාලය නතර කළ හැකි වුවත් ඉල්ලුම නැවැත්වීම සමාජයේ වගකීමක් බව සඳහන් කරයි.
ඔහු මෙම අදහස් පළ කළේ බන්ධනාගාරගත කාන්තා රැඳවියන්ගේ වයස අවුරුදු 5ට අඩු දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය සඳහා සැකසූ මුල් ළමාවිය සංවර්ධන වැඩසටහන අද නිල ලෙස ආරම්භ කරමින්.
තිඹිරිගස්යාය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී පැවති මෙම උත්සවය ජාතික සමඟිය හා ප්‍රතිසංධානය වෙනුවෙන් වන කාර්යාලය, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මුල් ළමා විය සංවර්ධනය පිළිබද ජාතික ලේකම් කාර්යාලය, ශ්‍රී ජයවර්ධනපුර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සහ තිඹිරිගස්යාය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඒකාබද්ධව ක්‍රියාත්මක වෙයි.
එසේම මෙම වැඩසටහන මඟින් පෙර පාසැල් ගුරුවරුන් 15 දෙනෙකු පුහුණු කිරීමට ද නියමිතව ඇත. මෙහි මුලික පියවර වශයෙන් වැලිකඩ බන්ධනාගාරයේ සිටින කාන්තා රැඳවියන්ගේ වයස අවුරුදු 5 ට අඩු දරුවන් සඳහා එම බන්ධනාගාර පරිශ්‍රය තුළ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සිදු කරයි.
මෙහිදී අදහස් පළ කළ අධිකරණ අමාත්‍යතුමා, "මෙම ජාතික වැඩසටහන, බන්ධනාගාරගත මව්වරුන් සමඟ රැඳී සිටින වයස අවුරුදු පහට අඩු දරුවන්ගේ ශාරීරික, මානසික, සමාජීය හා ආකල්පමය සංවර්ධනය තහවුරු කිරීමේ අරමුණින් ආරම්භ කර තිබෙනවා. ළමා කාලය යනු මිනිස් ජීවිතයේ අතිශය සංවේදී, අතිශය වටිනා සහ අනාගතය තීරණය කරන අවධියයි. විද්‍යාත්මක පර්යේෂණ අනුව පුද්ගලයෙකුගේ මොළයේ සංවර්ධනයෙන් විශාල කොටසක් සිදුවන්නේ ජීවිතයේ මුල් වසර පහ තුළයි. එම නිසා මුල් ළමාවිය සංවර්ධනය යනු අධ්‍යාපන ප්‍රතිපත්තියක් පමණක් නොව, ජාතියක අනාගතය ගොඩනගන ප්‍රධාන ආයෝජනයක්. අපි ශිෂ්ට සම්පන්න, වගකීම් සහගත, නීතියට ගරු කරන, අන්‍යයන්ගේ වේදනාව තේරුම් ගන්නා පුරවැසියන් බිහිකිරීමට බලාපොරොත්තු වන්නේ නම්, එම ගමන ආරම්භ විය යුත්තේ මුල් ළමාවිය තුළින්. දරුවෙකුට ලැබෙන ආදරය, ආරක්ෂාව, අවධානය සහ නිසි අධ්‍යාපනය ඔහුගේ හෝ ඇයගේ පෞරුෂය පමණක් නොව, සමාජය සමඟ ගනුදෙනු කරන ආකාරයද හැඩගස්වයි. එබැවින් පූර්ණ ළමාවිය සංවර්ධනය යනු දරුවන්ට අකුරු උගන්වන වැඩසටහනක් පමණක් නොවේ. එය සංවේදීත්වය, කරුණාව, අන්‍යෝන්‍ය ගෞරවය, විවිධත්වය පිළිගැනීම සහ සහජීවනයේ වටිනාකම් ගොඩනැගීමේ ක්‍රියාවලියකි. එමගින් අපි හෙට දවසේ වඩාත් මානුෂීය, වඩාත් සංවේදී සහ වඩාත් සමගි සමාජයක් සඳහා අඩිතාලම දමනවා. මෙම කුඩා දරුවන් කිසිදු වරදක් සිදු කර නැහැ. ඔවුන් කිසිදු අපරාධයකට වගකිව යුතු නැහැ. එහෙත් ඔවුන්ගේ ජීවිතයේ මුල්ම අත්දැකීම් සිදුවන්නේ බන්ධනාගාර පරිසරයක් තුළයි. සමාජයක් ලෙස අපගේ සැබෑ ශිෂ්ටත්වය මැනිය හැක්කේ, එවැනි අහිංසක දරුවන්ගේ අයිතිවාසිකම් සහ අනාගතය අප කෙසේ ආරක්ෂා කරනවාද යන්න මතයි."
එසේම මෙම අවස්ථාවට ජාතික සමගිය හා ප්රතිසන්ධානය සදහා වු කාර්යාලයේ සභාපති විජිත් රොහාන් ප්‍රනාන්දු, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර, බන්ධනාගාර කොමසාරිස් එස්.කේ.පල්ලෙතැන්න, කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම් කාංචනා ගුණවර්ධන, තිඹිරිගස්යාය ප්‍රාදේශිය ලේකම් සුගත් සිසිර කුමාර යන මහත්වරුන් මුල් ළමා විය සංවර්ධන නිලධාරීන් සහ පෙර පාසැල් ගුරුවරුන් සහභාගී වී ඇත.


