රැවටෙන්න එපා ව්‍යාජ වීඩියෝවක් ගැන විශේෂ දැනුවත් කිරීමක්
කෘත්‍රිම බුද්ධිය හෙවත් ඒඅයි තාක්ෂණය යොදාගනිමින් ජනාධිපතිවරයාගේ සහ අගමැතිනියගේ රුව සහිත ව්‍යාජ වීඩියෝ සකස් කර මහා පරිමාණ මුදල් වංචා සඳහා ඒවා භාවිත කරන අවස්ථා සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අගමැතිනී හරිනි අමරසූරිය මෙනෙවිය මෙන්ම සමාජයේ කැපීපෙනෙන ජනප්‍රිය ක්‍රීඩකයන් සහ විශේෂ පුද්ගලයන් කිහිපදෙනෙකුගේ රුව වංචනික ලෙස යොදාගනිමින් ඩීප් ෆේක් තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද මෙම ව්‍යාජ වීඩියෝ අන්තර්ජාලයට මුදාහැර ඇති බව ශ්‍රී ලංකා සර්ට් ආයතනය සඳහන් කරයි.
මෙම ව්‍යාජ වීඩියෝ හරහා ජනාධිපති සහ අගමැතිනිය ඇතුළු ප්‍රභූන් විසින් මුදල් ආයෝජනය කර මාසිකව ඉහළ ප්රතිලාභ ලබාගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීම් කරන ආකාරය නිරූපණය කරමින් සංවිධානාත්මක මුදල් වංචා කිරීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මෙයට අමතරව විවිධ ව්‍යාජ ආයෝජන අවස්ථා, රැකියා අවස්ථා මෙන්ම රටේ ආර්ථිකය සහ බදු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ද ව්‍යාජ පුවත් මැවීමට මෙම තාක්ෂණය අනිසි ලෙස යොදාගෙන ඇත.
අන්තර්ජාලය ඔස්සේ බෙදාහැරෙන මෙම වීඩියෝවල පළවන සබැඳි හෙවත් ලින්ක් වෙත පිවිසෙන ලෙස සිදුකරන ඉල්ලීම්වලට නොරැවටෙන ලෙස සර්ට් ආයතනය මහජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටියි.
එමඟින් අන්තර්ජාල පරිශීලකයන් ව්‍යාජ වෙබ් අඩවි වෙත යොමු කරවා පුද්ගලික දත්ත, රහස්‍ය තොරතුරු සහ මුදල් සොරාගැනීමේ දැඩි අවදානමක් පවතින බැවින්, එවැනි වංචනික ලින්ක් වෙත යොමු නොවී තමන්ගේ වටිනා දත්ත ආරක්ෂා කරගන්නා ලෙස ශ්‍රී ලංකා සර්ට් ආයතනය සමස්ත මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.