පළමු ශ්‍රේණියේ ළමයි ගැන රජය ගත්ත තීරණ පිලිබඳ නොසතුටක්
පළමු ශ්‍රේණියේ පන්තියක සිසුන් සංඛ්‍යාව තිස් පහක් දක්වා අඩු කිරීමේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අධ්‍යාපන අමාත්‍යාංශය නොසලකා කටයුතු කිරීම කනගාටුවක් බවයි ලංකා ගුරු සංගමය පවසා සිටියේ.
මේ බව පවසමින් එම සංගමය නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ මෙසේද සඳහන් කර තිබෙනවා.
මෙම නඩුවේ තීන්දුව ලබාදෙන ලද්දේ 2011 වසරේදීය. තීන්දුවට අනුව 2016 වසරේ සිට පන්තියක ළමයි සංඛ්‍යාව තිස්පහක් විය යුතු බව පැහැදිලිව සඳහන් විය. ඒ අනුව 14/1745/580/060 අංකයෙන් යුතු 2014.12.10 දිනැති අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පරිදි කටයුතු කිරීමේ අවශ්‍යතාව තහවුරු කරන ලදී.
එම තීරණය ක්‍රියාත්මක කිරීම වෙනුවට හිටපු අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් 2015.10 .14 දිනැති 2015/ED/E/23 අංකයෙන් යුතු කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරමින් 2016 වසරේ ළමුන් හතළිහක් සහ වසරින් වසර ළමුන් අඩුකොට 2021 වසරේ සිට අදාළ නඩු තීන්දුවට අනුව පන්තියක ළමුන් සංඛ්‍යාව තිස්පහක් ලෙස පවත්වාගෙන යාමට ඉල්ලා සිටින ලදී.
ඒ අනුව ම කැබිනට් පත්‍රිකාව පදනම් කරගෙන 2016 සිට වසරින් වසර පන්තියකට දරුවකු බැගින් අඩුකොට බඳවා ගන්නා ලදී . පසුව හිටපු අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් අමාත්‍යවරයා මෙම තීරණය වෙනස්කොට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පටහැනිව ළමුන් හතළිහක් බඳවා ගැනීමට පියවර ගත්තේය.
ඒ අනුව යමින් වර්තමාන රජයද මෙම ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයට පටහැනිව ළමුන් 35 වෙනුවට හතළිහක් බඳවා ගැනීමට තීරණය කොට ඇත. විධිමත් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වීමට බලයට පැමිණි රජය මෙම නඩු තීන්දුව නොසලකා කටයුතු කිරීම කනගාටුදායක තත්ත්වයකි.
එසේම චක්‍රලේඛයේ ක්‍රියාන්විත රාජකාරියේ සිටි හමුදා නිලධාරීන්ට සහ පොලිසියට එක් පන්තියකට දරුවන් පස් දෙනා බැගින් ඇතුළත් කිරීමට අවසර දී ඇත. ක්‍රියාන්විත රාජකාරියක් වර්තමානයේ ශ්‍රී ලංකාවේ නැත. මෙය දිගින් දිගටම අවභාවිත වන කෝටාවකි.
