ආබාධිත අය ඡන්දෙ දෙන්න ඕනි මෙහෙමයි
පළාත් පාලන ඡන්දයේ පූර්ණ හෝ අර්ධ දෘශ්‍යාබාධ සහිත ඡන්ද හිමියන්ට තනිව සිය ඡන්දය සලකුණු කිරීම සඳහා ඡන්ද පත්‍රිකාව මඟ පෙන්වන ස්පර්ශක රාමුව (Tactile stenccil Frame) සෑම ඡන්ද මධ්‍යස්ථානයක ම භාවිත කිරීමට පහසුකම් සලසා ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ‘ඉරිදා මව්බිම’ ට පැවසීය.
එම ස්පර්ශක රාමුව භාවිත කරමින් ඡන්දය සලකුණු කරන දෘශ්‍යාබාධ සහිත තැනැත්තන්ට කිසිදු බාධාවකින් තොරව ඡන්දය සලකුණු කිරීමට අවශ්‍ය සහාය ලබා දීමට ක්‍රියාකරන ලෙස ඡන්දපොළ කාර්ය මණ්ඩලය දැනුවත් කර ඇති බව මැතිවරණ කොමසාරිස්වරයා කීය. ආබාධ සහිත ඡන්ද හිමියන්ගේ ඡන්ද අයිතිය තහවුරු කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විවිධ පහසුකම් සපයා ඇති බව හෙතෙම ප්‍රකාශ කළේ ය.
ආබාධ සහිත ඡන්ද හිමියන් ඡන්දය සලකුණු කිරීමේදී මුහුණපාන බාධා අවම කිරීම වෙනුවෙන් මැතිවරණ රාජකාරිවල නියුතු සියලු නිලධරයන් මැතිවරණ කොමිෂන් සභාව ලබා දී ඇති උපදෙස් සහ විධාන නිසි පරිදි අනුගමන කරන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාගේ අස්සනින් විශේෂ නිවේදනයක්ද නිකුත් කර තිබේ. ඒ අනුව, රෝද පුටු භාවිත කරන හෝ සංචලන ආධාරක උපකරණ භාවිත කරන හෝ ඡන්ද හිමියන්ට ඡන්ද මධ්‍යස්ථානයේ ප්‍රධාන පිවිසුමේ සිට ඡන්දපොළ පිහිටි ගොඩනැගිල්ල දක්වා පහසුවෙන් පිවිසීම සඳහා සහාය සැපයෙන බව එහි දැක්වේ.
රෝද පුටු භාවිත කරන තැනැත්තන්ට සහ උසින් අඩු තැනැත්තන්ට පහසුවෙන් ළඟාවිය හැකි වන සේ උස අඩු මට්ටමකින් ඡන්ද පෙට්ටිය ස්ථානගත කිරීම, අර්ධ දෘශ්‍යාබාධ සහිත තැනැත්තන් සඳහා අකුරු විශාල කර පෙන්වීමේ උපකරණ (අත්කාච විශේෂ උපැස් යුගල වැනි පෞද්ගලිකව භාවිත කරන දෑ) ඡන්ද මධ්‍යස්ථානයට රැගෙන යා හැකි බව ත් එම උපකරණ භාවිත කරමින් ඔවුන් හට ඡන්ද පත්‍රිකාව කියවා ගැනීම හා ඡන්දය නිවැරැදිව සලකුණු කිරීමට ඉඩකඩ සලසා ඇති බව ත් එහි දැක්වේ.
ඡන්ද පත්‍රිකාව කියවා ගත නොහැකි තැනැත්තන්ට සහ පැහැදිලි කරදීමක් අවශ්‍ය යැයි පවසන යම් ඡන්ද හිමියෙකුට සෙමින් පැහැදිලි කිරීම සහ ඡන්දය සලකුණු කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා දී ඇත. ශ්‍රවණාධාර සහිත ඡන්දදායකයන්ගේ දැනගැනීමේ පහසුව සඳහා ඡන්දපොළ පරිශ්‍රය තුළ ප්‍රදර්ශනය කරනු ලබන දැන්වීම සංඥා භාෂාවෙන් රූප සටහන් සහිතව සකස් කර සෑම ඡන්දපොළක ම ප්‍රදර්ශනයට තබා ඇත.
. මේ අතර, මැතිවරණ කොමිෂන් සභාව පූර්ණ ආබාධ සහිත තැනැත්තන් සඳහා නිකුත් කරන ලද තාවකාලික හැඳුනුම්පත, ඡන්දය පාවිච්චි කිරීමේදී අනන්‍යතාව සනාථ කිරීමේදී වලංගු හැඳුනුම්පතක් ලෙස පිළිගෙන ඇති බැවින් එය ඡන්දපොළේදී ඉදිරිපත් කරන ඡන්දදායකයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවකාශ ලබා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරට ත් සඳහන් වේ.
