ධාවන ශූර ඩිලන්ත මාලගමුවට විදෙස් ගමන් තහනම් - දුටු තැන අත්අඩංගුවට ගැනීමට නියෝග
කොළඹ ප්‍රදේශයේ ඉඩම් සඳහා කූඨ ලේඛන සකස් කර ඒවා අලෙවි කිරීමේ ජාවාරමකට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව ඇතුළු සිව්දෙනෙකුට විදෙස්ගත වීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා නියෝගයක් නිකුත් කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.
කූඨ ලේඛන සකස් කර කොළඹ ඇතුළු ප්‍රදේශවල ඉඩම් අත්පත් කරගෙන අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක් සම්බන්ධයෙන් මෙම පුද්ගලයින් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බවත්, ඔවුන් විදේශගත වුවහොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.
ඩිලන්ත මාලගමුවට අමතරව විදෙස් ගමන් තහනම් කර ඇත්තේ ශාන්ත විතාන ගමගේ, ඩෙස්මන්ඩ් අමරසිංහ සහ සමන් ජයවීර යන අයටය.
අදාළ සැකකරුවන් දිගින් දිගටම අධිකරණය මඟහරිමින් සිටින බැවින් දුටු තැන අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට සඳහන් කර තිබේ.
මෙම නඩුවට අදාළව කොළඹ බාන්ස් පෙදෙසේ අංක 18 දරන, පර්චස් 43කින් සමන්විත රුපියල් කෝටි 250කට අධික වටිනාකමක් ඇති ඉඩමක් රුපියල් බිලියනයක මුදලකට ප්‍රසිද්ධ වාහන අලෙවි සමාගමකට අලෙවි කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකෙරෙමින් පවතී.
නඩුව කැඳවූ අවස්ථාවේදී විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
එම වාර්තාව මඟින් පොලිසිය සඳහන් කර ඇත්තේ, හොර ඔප්පු සකස් කිරීමේ සංවිධානාත්මක කල්ලියකට මෙම සැකකරුවන් සම්බන්ධද යන්න තහවුරු කර ගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදුකරන බවයි.
එමෙන්ම, ප්‍රශ්නගත ඉඩම සඳහා කූඨ ලේඛන සකස් කිරීමට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ආරියපාල දිසානායක නමැත්තා සමඟ මෙම පුද්ගලයින් කුමන්ත්‍රණය කර ඇති බවට කරුණු අනාවරණය වෙමින් පවතින බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.
දිසානායක නමැත්තා විසින් සකස් කළ බව කියන ව්‍යාජ ඔප්පුවක් මඟින් 2026 ජුනි 5 වන දින එම ඉඩම සමාගම් තුනකට විකුණා ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබේ.
ඉඩම පැවරීමේදී ලැබුණු මුදලින් ඩිලන්ත මාලගමුවට හිමිවිය යුතු බව කියන රුපියල් කෝටි 50ක මුදල වෙනුවට වාහන 14ක් ලබාදී ඇති බවත්, එම වාහන 14න් වාහන හතක් දෙවැනි සැකකරුට ලබාදී ඇති බවටත් විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
තවද, රක්ෂිත බන්ධනාගාරගතව සිටින ආරියපාල දිසානායක නමැත්තාගේ ඇටර්නි බලකරුවන් ලෙස ශාන්ත විතාන ගමගේ සහ ඩෙස්මන්ඩ් අමරසිංහ යන අය කටයුතු කර ඇති බවද අනාවරණය වී ඇතැයි පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත.
මේ අතර, සැකකරුවන්ගේ නම්වලින් පවත්වාගෙන යන බැංකු සහ මූල්‍ය ආයතන ගිණුම්වලට අදාළ තොරතුරු ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන 89කින් එම වාර්තා කැඳවීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් අවසර ඉල්ලා තිබේ.
එම ඉල්ලීමට අවසර ලබාදුන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, අදාළ ගිණුම් තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස බැංකු හා මූල්‍ය ආයතන 89ක කළමනාකරුවන්ට නියෝග කළේය.
අධිකරණයේදී ඩිලන්ත මාලගමුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සම්පත් ජයවර්ධන මහතා සඳහන් කළේ, තම සේවාදායකයා පොලිසිය මඟහැර නොමැති බවත්, හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් ශල්‍යකර්මයකට මුහුණ දීම සඳහා රෝහල්ගතව සිටි බවත්ය. මේ වන විට ඔහු නිවසේ සිටින අතර, සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බවද නීතිඥවරයා සඳහන් කළේය.
අනෙකුත් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුද තම සේවාදායකයින් පොලිසිය මඟහැර නොමැති බවත්, අවශ්‍ය අවස්ථාවක ප්‍රකාශ ලබාදීමට සූදානම් බවත් අධිකරණයට දැනුම් දුන්හ.
රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුගේ ඇටර්නි බලකරුවන් ලෙස කටයුතු කළ තම සේවාදායකයින්, අධිකරණ තීන්දුවකින් අනතුරුව අදාළ ඉඩම සමාගම් වෙත අලෙවි කර ඇති බවද ඔවුහු සඳහන් කළහ.
කරුණු සලකා බැලීමෙන් අනතුරුව විදෙස් ගමන් තහනම් නියෝග නිකුත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවල ප්‍රගතිය ඔක්තෝබර් 29 වන දින අධිකරණයට වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
ඩිලන්ත මාලගමුව තැබූ සටහන
මේ අතර, ඩිලන්ත මාලගමුව සිය නිල ෆේස්බුක් පිටුවෙහි මේ සම්බන්ධයෙන් සටහනක් තබා තිබිණි.