ලංකාවටම ඩීසල් නැති වෙන ලකුණු.. දිවයිනේ ප්‍රදේශ රැසක උග්‍ර ඩීසල් හිඟයක්.. ඉන්ධන පිරවුම්හල් 500ක් වසා දැමීමට සිදුවන බවට රතු එළි
උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල පෞද්ගලික ඉන්ධන සමාගම් විසින් ඩීසල් බෙදාහැරීම උපරිම ලෙස සීමා කර ඇති බවත්, ඒ හේතුවෙන් එම පළාත්වල ජනතාව දැඩි අසීරුතාවකට පත්ව සිටින බවත් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසන බව වාර්තා වේ.
ඒ අනුව මෙම ඩීසල් හිඟය හේතුවෙන් විශේෂයෙන්ම එම ප්‍රදේශවල ගොවි සහ ධීවර ජනතාවට සිය දෛනික ජීවනෝපාය සහ කර්මාන්ත කරගෙන යාමට නොහැකිව දැඩි පීඩාවකට මුහුණ පා සිටින බව එම සංගමය පෙන්වා දෙන බව සඳහන්.
එම පෞද්ගලික සමාගම් මඟින් මෙම පළාත් වෙත ඩීසල් තොග නිකුත් කරන්නේ සතියකට එක්වරක් හෝ දෙවරක් පමණක් වීම මෙම අර්බුදය තීව්‍ර වීමට ප්‍රධාන හේතුව වී ඇති බව ද වාර්තා වේ.
එසේම මේ වන විට LIOC සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල් 275ක්, Sinopec සමාගමට අයත් පිරවුම්හල් 150ක් සහ RM Parks සමාගමට අයත් පිරවුම්හල් 100ක් ඇතුළුව ඉන්ධන පිරවුම්හල් 500කට අධික සංඛ්‍යාවක ඩීසල් බෙදාහැරීම සීමා කර ඇති බව සඳහන්.
එම සමාගම් ත්‍රිත්වය ඔස්සේ ඉන්ධන නිකුත් කිරීම 50% පමණ පහත වැටී තිබෙන අතර, මෙම තත්ත්වය අඛණ්ඩව පැවතුණහොත් පෞද්ගලික ඉන්ධන පිරවුම්හල් 500කට ආසන්න සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට සිදුවනු ඇති බවද බෙදුම්කරුවෝ අනතුරු අඟවන බව වාර්තා වේ.
25 වෙනිදා ඉඳන් කොළඹ පොත් ප්‍රදර්ශනයට එන අයට විශේෂ දැනුම්දීමක් - කිසිදු පාරිභෝගිකයෙකුට මේවා නොමිලේ දෙන්න බෑ
කෙසේ වෙතත් ගොඩබෑමේ පිරිවැයට සාපේක්ෂව සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කරන ලෙස අදාළ පෞද්ගලික සමාගම් රජයෙන් ඉල්ලීම් කර සති දෙකකට වැඩි කාලයක් ගතව ඇතත්, රජය මේ වන තෙක් ඊට කිසිදු නිසි ප්‍රතිචාරයක් දක්වා නොමැති බවට ද චෝදනා එල්ල වේ.
එබැවින් ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට බලශක්ති අමාත්‍යාංශයෙන් වේලාවක් ඉල්ලා ලිඛිතව දැනුම් දුන්න ද ඊට ද මෙතෙක් නිසි පිළිතුරක් ලැබී නොමැති බව බෙදුම්කරුවන්ගේ සංගමය පවසන බව සඳහන්.