මේ රෝගය තවත් ව්‍යාප්ත වුණොත් රෝගීන් ලක්ෂය ඉක්මවා යෑමේ දැඩි අනතුරක් - සෞඛ්‍යයෙන් රටටම රතු එළියක්
ජාතික ඩෙංගු මර්දන වැඩසටහනෙහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය විසින් ඩෙංගු වසංගතය සමඟින් වයිරස් උණ වර්ග කීපයක්ම පැතිර යමින් තිබෙන බැවින් වඩාත් සැලකිල්ලෙන් සිටින ලෙස අනතුරු අඟවයි.
ඒ අනුව ඇය සඳහන් කර ඇත්තේ කඩින් කඩ ඇතිවන වැසි තත්ත්වය නිසා ඩෙංගු මෙන්ම අනෙකුත් වයිරස් උණ පැතිරීම ප්‍රබල තත්ත්වයට පත් වෙමින් තිබෙන බවයි. එසේම මෙම වසරේ ගෙවී ගිය මාස පහයි දින 18 ක කාලය තුළ ඩෙංගු රෝගීන් 43,559 ක් මෙරටින් හමුවී ඇති බවත් ඇය පැවසුවා.
එමෙන්ම මෙම වසර තුළ ඩෙංගු මරණ 27 ක් වී ඇති අතර මියගිය අයගෙන් 21 දෙනෙක්ම කාන්තාවන් බවත් මියගිය පිරිස අතර පාසල් දරුවන් සිව් දෙනෙක් සිටින බවත් ප්‍රශිලා සමරවීර මහත්මිය ප්‍රකාශ කළා.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර ඇත්තේ පවතින සංඛ්‍යා දත්ත ප්‍රක්ෂේපණයේ දී මෙයාකාරයට ඩෙංගු ව්‍යාප්ත වුවහොත් රෝගීන් ලක්ෂය ඉක්මවා යෑමේ අනතුරක් දක්නට ඇති බවයි.
මේ අතර දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ ඩෙංගු මර්දන සතියේ 5 වන දිනය අද(19) දින ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ අනුව අද දිනයේත් සියලුම පොදු ස්ථාන පවිත්‍ර කිරීමේ කටයුතු සිදු කිරීමට නියමිතව ඇත.