අගවිනිසුරු සම්බන්ධයෙන් දයාසිරිගෙන් කථානායකට විශේෂ ලිපියක්
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කර ඇති බරපතළ චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත අද (31) විශේෂ ලිපියක් යොමුකර තිබේ.
අගවිනිසුරුවරයාට එරෙහිව එල්ල වී ඇති අදාළ චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මට්ටමින් මේ වන විට ගෙන ඇති හෝ ඉදිරියේදී ගැනීමට නියමිත පියවර මොනවාද යන්න පිළිබඳව විමසමින් මෙම ලිපිය යොමුකර ඇති බව වාර්තා වේ.
මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුවේ ඉදිරි ක්‍රියාමාර්ගය සහ නීතිමය ප්‍රවේශය කථානායකවරයා විසින් පැහැදිලි කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එමලිපිය පහතින් උපුටා ඇත .
'' මෑත කාලීනව පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ගරු මන්ත්‍රිවරුන් කිහිපදෙනෙකු විසින් වත්මන් අගවිනිසුරු ගරු ප්‍රීති පද්මන් සූරසේන මහතා සම්බන්ධයෙන් බරපතළ ස්වභාවයේ කරුණු හා චෝදනා කිහිපයක් ප්‍රසිද්ධියේ ඉදිරිපත් කර තිබේ. එම කරුණු අතර, අගවිනිසුරුතුමාගේ පුත්‍රයා ලෙස සඳහන් වන දිමුතු සූරසේන මහතා සම්බන්ධයෙන් කොළඹ ප්‍රදේශයේ රුපියල් මිලියන 185ක් පමණ වටිනා මහල් නිවාසයක් ලබාගැනීම හෝ හිමිකරගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් වූ කරුණු, එම දේපළ අත්පත් කරගැනීමේ ස්වභාවය, මූලාශය සහ අදාළ වත්කම් ප්‍රකාශ සමඟ එහි ඇති සම්බන්ධතාව පිළිබඳ මතු කර ඇති ප්‍රශ්න, X-Press Pearl නඩුව හා ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට හිමිවිය යුතු වන්දි මුදල් අයකර ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අගවිනිසුරුතුමාගේ කාර්යභාරය, අධිකරණ ක්‍රියාමාර්ගවල ප්‍රගතිය හෝ ප්‍රමාදය පිළිබඳ මතුකර ඇති කරුණු ඇතුළත් වේ.
ඒ අනුව ඔබතුමාගෙන් පහත කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඉහත සඳහන් චෝදනා හෝ ඒ හා සමාන කරුණු සම්බන්ධයෙන් කුමන හෝ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු විසින් පාර්ලිමේන්තුවට හෝ ඔබතුමාට කරුණු ඉදිරිපත් කර හෝ ඒ සම්බන්ධයෙන් සාක්ෂි හෝ ලේඛන සභාගත කර තිබේද? එසේ ඉදිරිපත් වී ඇත්නම්, ඒ සම්බන්ධයෙන් ඔබතුමා විසින් මේ වන විට කිසියම් මූලික පරීක්ෂණයක්, විමසීමක් හෝ වෙනත් ක්‍රියාමාර්ගයක් ගෙන තිබේද? පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රිවරු විසින් ඉදිරිපත් කර ඇති මෙම චෝදනා සම්බන්ධයෙන්, ඒවා සත්‍යද, අසත්‍යද යන්න තහවුරු කරගැනීම සඳහා අදාළ නීතිමය බලය ඇති ස්වාධීන ආයතන වෙත කරුණු යොමු කර තිබේද? X- Press Pearl නඩුව හා ශ්‍රී ලංකා රජයට හිමිවිය යුතු වන්දි මුදල් අයකර ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ මතු කර ඇති කරුණු පිළිබඳව රජයේ අදාළ ආයතනවලින් හෝ නීතිපති දෙපාර්තමේන්තුවෙන් කිසියම් නිල පැහැදිලි කිරීමක් ලබාගෙන තිබේද?"