සත්‍යග්‍රහයේ නිරත ධීවරයන් ඉවත් කරන්න හැදූ පොලීසියට වැඩ වරදී - අධිකරණයෙන් නියෝගයක්
ජනාධිපති ලේකම් කාර්යාලය අසල සත්‍යග්‍රහයක නිරතව සිටින මාදැල් ධීවර කර්මාන්තයේ නිරත පිරිස් එතැනින් ඉවත් කිරීමට නියෝගයක් ලබා දෙන මෙන් පොලීසිය සිදුකළ ඉල්ලීමක් අධිකරණය මඟින් ප්‍රතික්ෂේප කර ඇත.
ඒ අනුව කොටුව පොලිස් ස්ථානය මඟින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අදාළ ඉල්ලීම මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ප්‍රතික්ෂේප කළ බව වාර්තා විය.
ට්‍රැක්ටර්වලට සවිකළ වින්ච් යන්ත්‍ර යොදාගනිමින් සිදුකරන මාදැල් ධීවර කර්මාන්තයට වත්මන් ආණ්ඩුව පනවා ඇති තහනම ඉවත් කරන මෙන් ඉල්ලා ධීවරයන් සිදු කරන උද්ඝෝෂනය නිසා විශාල මහජන පීඩාවක් සිදුවන බැවින් එය නවතන මෙන් නියෝගයක් නිකුත් කරනැයි කොටුව පොලීසිය මෝසමක් ගොනු කරමින් අඳාළ ඉල්ලීම සිදු කර ඇත. එම මෝසම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ජනතාවට සාමකාමී උද්ඝෝෂණ සිදු කළ හැකි බවත් උද්ඝෝෂණය කිරීම ජනතාව වෙත ඇති අයිතියක් බවත් පසවමින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.
එමෙන්ම උද්ඝෝෂකයන් විසින් මංමාවත් පනත, පොලිස් ආඥා පනත ඇතුළු නෛතික විධිවිධාන උල්ලංඝනය කරමින් මහජන පීඩාවක් ඇතිවන අයුරින් උද්ඝෝෂණය සිදු කරන්නේ නම් පොලිස් බලතල අනුව ක්‍රියාත්මක වන ලෙසද මහේස්ත්‍රාත්වරයා කොටුව පොලිසියට නියෝග කර තිබෙනවා.
ට්‍රැක්ටර්වලට සවිකළ වින්ච් යන්ත්‍ර යොදාගනිමින් සිදුකරන මාදැල් ධීවර කර්මාන්තයට වත්මන් ආණ්ඩුව පනවා ඇති තහනම ඉවත් කරන මෙන් බලකරමින් මාදැල් ධීවරයින් අඛණ්ඩව අද (10) දින හයවන දිනටත් මෙම සත්‍යග්‍රහය ක්‍රියාත්මක කර තිබුණා.