අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගයක් - මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි
කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම සඳහා අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතාට නිකුත් කර තිබූ සිතාසිය මත ඉදිරි කටයුතු කිරීම වළක්වමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම විභාගයට ගෙන ඇති අතර, ජනාධිපති නීතිඥවරුන් වන උදිත ඉගලහේවා, ෆර්මාන් කාසීම් සහ නීතිඥ සුගත් කල්දේරා විසින් එය ඉදිරිපත් කර තිබේ.
පෙත්සම්කරුවන් පෙන්වා දී ඇත්තේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවකට අදාළව සාක්ෂි ලබා දීම සඳහා අදාළ විනිසුරුවරයා කැඳවීමට කොළඹ මහාධිකරණය සිතාසියක් නිකුත් කර ඇති බවයි.
අදාළ විනිසුරුවරයා නුගේගොඩ දිසා විනිසුරුවරයා ලෙස කටයුතු කළ අවධියේදී ලබාදුන් නියෝගයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔහු සාක්ෂියට කැඳවීමට පැමිණිල්ල තීරණය කර ඇති බවද පෙත්සමේ සඳහන් වේ.
විනිසුරුවරයෙකුගේ නිල රාජකාරී කටයුතු සම්බන්ධයෙන් ඔහු සාක්ෂියට කැඳවීම අධිකරණ ස්වාධීනත්වයට හා නීතියේ ආධිපත්‍යයට අහිතකර බලපෑමක් ඇති කළ හැකි බව පෙත්සම්කරුවන් පෙන්වා දී ඇත.
ඒ අනුව අදාළ සිතාසිය බලරහිත කරන ලෙසත්, පෙත්සම විභාගය අවසන් වන තුරු එම සිතාසිය මත ඉදිරි කටයුතු නවත්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔවුන් අධිකරණයෙන් ඉල්ලා තිබේ.
මෙම පෙත්සම යළි ජූනි 12 වනදා කැඳවීමට නියමිතය.