හිටපු රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂට මහාධිකරණයෙන් අධිචෝදනා
දූෂණ චෝදනා එල්ල වී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනුකර තිබූ අධිචෝදනා කොළඹ මහාධිකරණය හමුවේ භාරදී තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනුකර තිබූ මෙම නඩුවට අදාළ අධිචෝදනා කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේදී භාරදීම සිදු කෙරිණි.
අනතුරුව එක් එක් විත්තිකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට විනිසුරුවරයා නියම කළ අතර, ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමටද නියෝග කළේය. එමෙන්ම විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන අදාළ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කෙරිණි.
හැකි ඉක්මනින් සන්නද්ධ හමුදාව කැඳවන්න ජනපතිගෙන් අති විශේෂ ආඥාවක් - කථානායකගෙන් පාර්ලිමේන්තුවට දැනුම්දීමක්
මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා අගෝස්තු 05 වනදා යළි කැඳවීමට නියම කර ඇත. මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස සේපාලිකා සමන් කුමාරි සහ කීර්ති බණ්ඩාර කොටගම යන අය නම් කර තිබේ.
අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර ඇති චෝදනා අනුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ 2022 මැයි 09 වනදා ඇති වූ අරගලකාරී තත්ත්වයේදී හානි වී තිබේ.
එම දේපළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී, හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව සේවය කළ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් සිදුකර රුපියල් 8,850,000ක වන්දි මුදලක් ලබාගැනීම තුළින් "දූෂණය" නමැති වරද සිදුකළ බවටත්, ඊට ආධාර අනුබල දුන් බවටත් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කර ඇත.