ගෑස් අනතුරුවලට වන්දි ඉල්ලීමට අවස්ථාවක් - සියලු විස්තර

By Sithumi Dec 04, 2021 02:40 PM GMT
Sithumi

Sithumi

Report

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ ගෑස් අනතුරු සිදුවූයේ ගෑස් සමාගම්වල වරදක් නිසා බව තහවුරු වුවහොත් සිදුවූ හානිවලට වන්දි ලබාගැනීම සඳහා දිසා අධිකරණවල නඩු පැවරීමට හැකියාවක් ඇතැයි නීති විශාරදයින් පෙන්වාදෙයි. අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා මහතා ඒ බව සඳහන් කළේය.

"ගෑස් බෙදාහරින ප්‍රධාන සමාගම් දෙක මගින් බෙදාහැරි ගෑස් සංයුතිය පිළිබඳ යම් ගැටලුවක් තිබෙනවා කියලා අවසාන පරීක්ෂණයේ තේරුණොත් එවැනි අවස්ථාවක අනිවාර්යයෙන්ම ඒ අයට එරෙහිව ක්‍රියා කරන්න පුළුවන්. වන්දි ලබාගැනීම සඳහා දිසා අධිකරණයේ වන්දි නඩු පැවරීමේ හැකියාවක් තිබෙනවා."

ගෑස් සිලින්ඩර ආශ්‍රිත පිපිරීම් හා ගිනිගැනීම් නිසා උද්ගත වූ තත්ත්වය හේතුවෙන් ලිට්‍රො හා ලාෆ්ස් ගෑස් සමාගම් දෙකට ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීම අත්හිටුවන්නැයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය ඊයේ (03) දැනුම් දුනි. ඒ, ගෑස්වල ගඳ සුවඳ ජනනය කරන එතිල් මර්කැප්ටන් රසායනයේ ඒකක ප්‍රමාණය සම්මත ප්‍රමිතියට අනුකූල නොවන බව තහවුරුවීම හේතුවෙනි.

ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීම අත්හිටුවනු ලැබූවද ඇතැම් ප්‍රදේශවල අලෙවි නියෝජිතයින් වෙත ලිට්‍රො ගෑස් සිලින්ඩර බෙදාහැරීම අද (04) උදෑසනත් දක්නට ලැබුණි. මෙවැනි පසුබිමක පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ කොන්දේසි කිහිපයකට යටත්ව හෙට සිට ගෘහස්ථ ගෑස් වෙළෙඳපොළට නිකුත් කිරීමට තීරණය කළ බවය.

මේ අතර අදත් ගෑස් කාන්දු නිසා සිදු වූ පිපිරීම් පිළිබඳ සිද්ධි කිහිපයක්ම දිවයිනේ ප්‍රදේශ ගණනාවකින් වාර්තා වුණි. ගාල්ල පෝද්දල හා බටපොළ පාත්තරකැටිය ප්‍රදේශවල නිවෙස් දෙකක ගෑස් උදුන් පුපුරා ගොස් තිබුණි. කාත්තන්කුඩි ඒත්තුකාල, හාලිඇල දික්වැල්ල වත්ත හා අන්තුඩුවාවෙල ප්‍රදේශවල නිවෙස් තුනකත් ගෑස් ලිප් පුපුරා යෑම් සිදුව තිබේ. හඟුරන්කෙත අඹලියද්ද හා හකුරුතලේ ප්‍රදේශවල නිවෙස් දෙකකත් ගෑස් ලිප පුපුරා යෑමේ සිදුවීම් වාර්තා වුණි.

රක්වාන මොරවකදෙණිය ප්‍රදේශයේ නිවසක හා ඇහැළියගොඩ අස්ගඟුල ප්‍රදේශයේ නිවසක අද උදෑසන පුපුරා ගොස් තිබුණේ ලාෆ්ස් ගෑස් සිලින්ඩරවලට සම්බන්ධ කර තිබූ උදුන් දෙකකි. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී.අලවතුවල මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේ භාවිතයට නුසුදුසු ගෑස් සිලින්ඩර වෙළෙඳපොලට නිකුත් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් සිදුකළ යුතු බවය.

ගෑස් අනතුරු සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේ වාර්තාව මෙතෙක් ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් අදත් කථානායකවරයාගේ අවධානයට යොමු කෙරුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now