විද්‍යාපීඨ යන්න ඉන්න අයට හදිසි නිවේදනයක්- අයදුම්පත් දමන අවසන් දිනය වහාම වෙනස් වෙයි
සිව් අවුරුදු පූර්ව සේවා අධ්‍යාපනවේදී (ඉංග්‍රීසි මාධ්‍ය) උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා 2024 අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල මත ශික්ෂණලාභීන් 210 දෙනෙකු කුලියාපිටිය තාක්ෂණවේදී ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයට ඇතුළත් කර ගැනීම සඳහා නිකුත් කළ ගැසට් නිවේදනයට අදාළ අයදුම්පත් භාරගැනීමේ කාලය දීර්ඝ කර තිබේ.
මෙම බඳවා ගැනීමට අදාළ ගැසට් නිවේදනය 2026 පෙබරවාරි 22 දිනැති අංක 2489 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇත.
ඒ අනුව, අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා ලබාදී තිබූ අවසන් දිනය 2026 ජූනි 10 වැනිදා සිට 2026 ජූනි 17 වැනිදා දක්වා දීර්ඝ කර ඇති බව අදාළ නිවේදනයේ සඳහන් වේ.
සුදුසුකම් සපුරාලන අපේක්ෂකයින්ට මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කළ හැකි අතර, අවශ්‍ය උපදෙස් අනුගමනය කරමින් 2026 ජූනි 17 වැනිදාට පෙර අයදුම්පත යොමු කළ යුතු බව දැනුම් දී ඇත.
මෙම පාඨමාලාව සඳහා බඳවා ගැනීම අධ්‍යාපන ක්ෂේත්‍රයට ඉංග්‍රීසි මාධ්‍ය ගුරු වෘත්තිකයන් බිහිකිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන බව සඳහන් වේ.