නයිජීරියාවේ පල්ලියක මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් - 5ක් මරුට 35කට තුවාල
නයිජීරියාවේ ඊසානදිග ප්‍රදේශයේ පිහිටි මයිදුගුරි නගරයේ පල්ලියක බැතිමතුන් සන්ධ්‍යා මෙහෙය වෙනුවෙන් රැස්ව සිටියදී සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 35 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම පිපිරීම එරට වේලාවෙන් ඊයේ(24) දින පස්වරු 6:00 ට පමණ මයිදුගුරි හි ගම්බෝරු වෙළඳපොළ අසල පිහිටි පල්ලියකදී සිදුව ඇත. මේ වන විට පොලිසිය විසින් මරණ පහක් තහවුරු කර ඇති අතර, තවත් 35 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.
මේ අතර පල්ලියේ නායක මලම් අබුනා යූසුෆ් සඳහන් කළේ මියගිය සංඛ්‍යාව අවම වශයෙන් අටක් බවයි.
එමෙන්ම සටන්කාමී නායකයෙකු සඳහන් කරන්නේ හත් දෙනෙකු මියගිය බවයි. එමෙන්ම එම ස්ථානයෙන් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක කොටස් හමුවී තිබෙන බැවින්, මෙය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවට පොලිසිය සැක කරන බව ද වාර්තා වේ.
කෙසේ වෙතත් මෙතෙක් කිසිදු කණ්ඩායමක් මෙහි වගකීම භාරගෙන නැති වුවත් විදෙස් වාර්තාවල දැක්වෙන්නේ මීට පෙර මෙවැනි ප්‍රහාර එල්ල කරන ලද බොකෝ හරාම් සංවිධානය කෙරෙහි සැකය යොමු වී ඇති බවයි.
වසර විස්සකට ආසන්න කාලයක් මයිදුගුරි නගරය සන්නද්ධ කැරලිවලට මැදිවී ඇති නගරයකි. 2009 වසරේ සිට මෙම ගැටුම් හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව පුද්ගලයන් 40,000 ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇත.
එසේම එහිදී මිලියන දෙකක ජනතාවක් අවතැන් විය. එසේ වුවත් මෑත වසරවලදී නගරය සාමකාමීව පැවති අතර මෙවැනි ප්‍රධාන ප්‍රහාරයක් වාර්තා වූයේ 2021 වසරෙන් අනතුරුවයි. මේ අතර පොලිසිය දැනට එම ප්‍රදේශය පරීක්ෂා කරමින් තවත් පුපුරණ ද්‍රව්‍ය තිබේදැයි සොයා මෙහෙයුම් සිදුකරන බව ද වාර්තා වේ.