දිවයින පුරා පාසල් සිසුන්ට සුබම සුබ ආරංචියක් - චීනයෙන් කරන්න යන දේ
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ඩිජිටල්කරණ වැඩපිළිවෙළ යටතේ දිවයින පුරා පිහිටි ඩිජිටල් පන්තිකාමර 500ක් සඳහා ස්මාර්ට් උපාංග 900ක් ලබාදීමට චීන රජය එකඟතාව පළ කර තිබේ.
ශ්‍රී ලංකාවේ නව චීන තානාපති වේයි හුවාෂියැං මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර අරලියගහ මන්දිරයේදී පැවැති නිල සාකච්ඡාවේදී මේ බව අවධාරණය කෙරිණි.
ලබන වසරේදී සමරනු ලබන චීන - ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 70 වැනි සංවත්සරයට සමගාමීව අධ්‍යාපන, ඩිජිටල්කරණ සහ සංවර්ධන ක්ෂේත්රවල සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමට දෙපාර්ශ්වයම මෙහිදී එකඟ වී ඇත.
එසේම පාසල් සිසුන් සඳහා චීන රජයෙන් හිමිවන නිල ඇඳුම් ආධාර වැඩසටහන වසරින් වසර ලබාදෙන තාවකාලික ක්‍රමවේදයකින් බැහැරව, සෑම පාසල් වසරක් ආරම්භයේදීම නිසි වේලාවට ලබාදීමට හැකි වන පරිදි වසර 3 සිට 5 දක්වා වන දීර්ඝකාලීන රාමුවක් ඔස්සේ ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද දෙපාර්ශ්වයේම විශේෂ අවධානය යොමුව තිබේ.
මීට අමතරව ද්වීපාර්ශ්වික අධ්‍යාපන ශිෂ්‍යත්ව, ළමුන්ගේ අන්තර්ජාල සුරක්ෂිතතාව සහ දෙරට අතර සබඳතා වර්ධනය කරගැනීමට අදාළ තවත් වැදගත් කරුණු රැසක් පිළිබඳව ද මෙම හමුවේදී සාකච්ඡා කර ඇත.