ඇමෙරිකාව සමග ඕනෑම යුද්ධයකට චීනය සූදානම් වෙයි
ඕනෑම ආකාරයක යුද්ධයකට සටන් කිරීමට තම රට සූදානම් බවට චීනය විසින් ඇමෙරිකාවට අනතුරු අඟවා තිබෙනවා.
ඒ, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා නව තීරුබදු පැනවීමට එරෙහිව නිල වශයෙන් වාචිකව පළමුවරට ප්‍රතිචාර දක්වමින්.
ට්‍රම්ප් විසින් සියලු චීන භාණ්ඩ සඳහා නව තීරුබදු පැනවීමෙන් පසු ලෝකයේ ඉහළම ආර්ථිකයන් සහිත රටවල් දෙක වන චීනය සහ ඇමෙරිකාව වෙළඳ යුද්ධයකට සමීප වෙමින් ඇති බවයි විචාරකයින් පැවසුවේ.
ඇමෙරිකානු බදුවලට ක්ෂණික ප්‍රතිචාරයක් ලෙස චීනය විසින් අමෙරිකාවේ කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා සියයට 10ත් 15ත් අතර නව තීරුබදු පැනවීමට කටයුතු කළා.
එහෙත් කිසිදු වාචික ප්‍රතිචාරයක් නොදැක්වූ එහිදී නොදැක්වූ නමුත් චීන රජය දැන් අවධාරණය කර ඇත්තේ “ඇමෙරිකාවට අවශ්‍ය වන්නේ යුද්ධය නම්, එය තීරුබදු යුද්ධයක්, වෙළඳ යුද්ධයක් හෝ වෙනත් ඕනෑම ආකාරයක යුද්ධයක් වේවා, තම රට අවසානය දක්වා සටන් කිරීමට සූදානම්” බවටයි.
ට්‍රම්ප් ජනාධිපති වීමෙන් පසු චීනයෙන් එල්ල වූ ප්‍රබලතම වාචික ප්‍රතිචාරය මෙය බවටයි සැළකෙන්නේ. චීන රජය මේ බව ප්‍රකාශ කළේ ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික රැස්වීම් සඳහා එරට නායකයින් බීජිං හි රැස්ව සිටියදී වීම විශේෂත්වයක්.
චීන අග්‍රාමාත්‍ය ලී කියැං මේ අතරතුර නිවේදනය කර ඇත්තේ චීනය නැවතත් මෙම වසරේ සිය ආරක්ෂක වියදම් සියයට 7යි දශම 2කින් ඉහළ නංවන බවයි, සියවසකින් නොදුටු වෙනස්කම් ලොව පුරා වේගයෙන් සිදු වනු ඇති බවටයි එහිදී අනතුරු ඇඟවීමක්ද සිදු කර ඇත්තේ.
