බැකෝ සමන්ගේ බිරිදට පවුම් 40ක රත්තරන් හම්බුනේ කොහෙන්දැයි හොයන්න නියෝග - දරුවා සීයට භාර කරයි
මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට ගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ‘බැකෝ සමන්” නැමැත්තාගේ බිරිය සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන ඇති පවුම් 40 ක් වටිනවා රන් පැහැති භාණ්ඩ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (04) නියෝග කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිට ඊයෙ පස්වරුවේ අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකාර කාන්තාව මෙම මස 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස එහිදී නියෝග කෙරුණා.රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු සැකකාර කාන්තාවගේ තෙහැවිරිදි දැරිය සැකකාරියගේ පියා භාරයට පත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
සැකකාරිය සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණයට අදාල පූර්ණ සම්පිණ්ඩන වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කර තිබේ. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය සතුව තිබී පවුම් හතලිහක් වටිනා රන් පැහැති භාණ්ඩ කීපයක් අත්අඩංගුවට ගත් බවත් එම භාණ්ඩ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත යවා වාර්තාවක් කැඳවීමට අවසර දෙන ලෙසත් විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම රන් පැහැති භාණ්ඩ ඇයට ලැබුණේ කෙසේද යන්න පිළිබඳව සහ එහි වටිනාකම් පිළිබඳව මුදල් විශුද්ධිකරණය යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇති බවද එම නිලධාරීන් අධිකරණයට දැන්වුවා.
මිද්දෙණිය ප්‍රදේශයේ යතුරුපැදියක යමින් සිටි කජ්ජා නමැත්තකු හා ඔහුගේ දරුවන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට මෙම සැකකාරිය හා මේ වන විට පොලිස් රැඳවුම් භාරවේ සිටින ඇගේ සැමියා වන බැකෝ සමන් නැමැත්තා සම්බන්ධ බවට කරුණු අනාවරණය වී ඇති බැවින් ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බවද විමර්ශන නිලධාරීහු අධිකරණය හමුවේ පැවසූවා.
මත්ද්‍රව්‍ය කිලෝ තිහක් සමග අත්අඩංගුවට ගත් පුද්ගලයකුට එරෙහිව ඇඹිලිපිටිය මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින බවත් එම මත්ද්‍රව්‍ය කිලෝ තිහ බැකෝ සමන්ට හා ඔහුගේ බිරිඳට අයත් ඒවා බව එම සැකකාර පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දී ඇති බවද එම නිලධාරීන් අධිකරණයට දැන්වුවා.
එම පුද්ගලයා සතුව තිබූ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් අවස්ථාවේදී මෙම සැකකාරිය විදෙස් ගතව ඇති බවට කරුණු අනාවරණය වන බවද එම නිලධාරීන් අධිකරණයට දැන්වුවා. මෙම සැකකාරිය හා ඔහුගේ සැමියා වන බැකෝ සමන් නැමැත්තා විදෙස් රටවල්හි සැඟව සිට මෙරට ඝාතන හා මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවා ඇති බවට කරුණු අනාවරණය වන බැවින් ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ පැවසූවා.
සැකකාරය වෙනුවෙන් පෙනී සිටී නීතිඥවරිය අධිකරණය හමුවේ කියා සිටියේ ඇයගේ සැමියා වන බැකෝ සමන් නමැත්තා මෙම සැකකාරියාගේ ස්වාමිපුරුෂයා බවය.