විදෙස් රැකියා දෙන බව පවසා මිලියන 100ක් ගසා කාලා
විදේශ රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් මිලියන 100ක් වංචා කළ සැකකරුවකු හැටන් අපරාධ පරීක්ෂණ අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව හැටන් දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසාද් වීරසේකර පැවැසීය. අත්අඩංගුවට පත්ව ඇත්තේ කඳුරුවෙල පදිංචි පුද්ගලයකු බවද පොලිසිය පවසයි.
ස්ථාන රැසක නොයෙක් නම්වලින් පෙනී සිටි ඇති බැවින් නිවැරදි අනන්‍යතාව තහවුරු කර ගැනීමට පොලිසිය මේ වන විට කටයුතු කරමින් ඇති බවද පැවැසේ. ඩුබායිහි අවන්හල්වල සහ ගෘහ සේවයේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 12 සිට රුපියල් ලක්ෂ 15 දක්වා මුදලක් ඔහු අයථා ලෙස එකතු කර ඇති බවද පොලිසිය කියයි.
මූලික පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ සැකකරු ඔවුන්ගෙන් රුපියල් මිලියන 100කට අධික මුදලක් මෙලෙස ලබාගෙන ඇති බවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිස් ස්ථානයේ සහ හැටන් පොලිස් අධිකාරී කාර්යාලයේ පැමිණිලි 49ක් ලියාපදිංචි කර ඇතැයි පැවැසේ.
මෙම පැමිණිලිවලින් 12ක් ඩුබායි වෙත යවන බව පවසමින් කොළඹ කටුනායක ගුවන්තොටුපළ දක්වා කැඳවා ආපසු හරවා යවා ඇති පුද්ගලයන්ගෙන් ලැබුණු බවද පොලිසිය අනාවරණය කළේය. වින්දිතයන් 49 දෙනා හැටට්න් දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසාද් වීරසේකර මහතා හමු වී තමන්ට වූ අසාධාරණය පිළිබඳව කරුණු දක්වා තිබේ.
සියලුම පැමිණිලි සම්බන්ධව පොලිසිය මැදිහත් වී නීතිමය කටයුතු කරන බවත් එබැවින් මේ පිළිබඳව කිසිවකු බිය විය යුතු නැති බවත් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවත් පොලිස් අධිකාරිවරයා පැවැසීය. සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය සහ හැටන් අපරාධ විමර්ශන අංශය එක්ව පරීක්ෂණ පවත්වයි.