චීනය මුහුද මැදින් අභ්‍යවකාශයට යැවූ Gravity-1 රොකට්ටුව - අලුත්ම තාක්ෂණයෙන් ලෝකයම කළඹයි
ශැංහයි වෙරළට ඔබ්බෙන් පිහිටි මුහුදු ප්‍රදේශයේ සිට Gravity-1 වාහක රොකට්ටුව සාර්ථකව අභ්‍යවකාශගත කිරීමට චීනය සමත්ව ඇත.
Taiyuan චන්ද්‍රිකා මධ්‍යස්ථානය විසින් බෙයිජිං වේලාවෙන් ඊයේ (22) පෙරවරු 10:54ට මෙම වාණිජ රොකට්ටුව අභ්‍යවකාශගත කර ඇත චීන බලධාරීන් සදහන් කරන්නේ එම රොකට්ටුව හරහා චන්ද්‍රිකා 9ක් නියමිත කක්ෂවල සාර්ථකව ස්ථානගත කළ බවයි.
මෙය Gravity-1 රොකට්ටුවේ පළමු විවෘත සාගර මෙහෙයුම වන අතර, Yangtze ගංගාවට ආසන්න නැගෙනහිර චීන මුහුදු ප්‍රදේශයේ සිදුකළ චීනයේ පළමු වාණිජ සාගර අභ්‍යවකාශ මෙහෙයුම ලෙස ද ඉතිහාසගත වී ඇත ස්ථාවර සාගර කලාපවලට සීමා නොවන, චන්ද්‍රිකා නිකුත් කිරීමේ ජංගම ක්‍රමවේදය හේතුවෙන්, අවශ්‍ය ස්ථානය තෝරා ගැනීම වඩාත් නම්‍යශීලී වන අතර, චන්ද්‍රිකා අභ්‍යවකාශගත කිරීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට එය හේතු වී තිබේ.
එමෙන්ම චීන අභ්‍යවකාශ මෙහෙයුම් හැකියාවන් තවදුරටත් විවිධාංගීකරණය කිරීමට එය උපකාරී වන බව චීන නිලධාරීන් පවසයි.
ව්‍යාපෘති නිලධාරීන් සඳහන් කරන්නේ මෙම මෙහෙයුම මඟින්, Gravity-1 රොකට්ටුවේ ප්‍රධාන කොටසට පිටතින් සවි කරන සැකැස්ම, සංකීර්ණ මුහුදු තත්ත්වයන්ට අනුගත වීමේ හැකියාව සහ දිගු කාලයක් සූදානම් තත්ත්වයේ පවතින හැකියාව තවදුරටත් සනාථ කළ බවයි