තේ කර්මාන්තයේ දැවැන්ත වෙනසක් – “Ceylon Tea Village” යටතේ ගම්මාන 500ක්
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත “Ceylon Tea Village” හෙවත් පොකුරු තේ ගම්මාන 500ක් ස්ථාපිත කිරීමේ ජාතික වැඩසටහන පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.
මෙම වැඩසටහන කුඩා තේවතු සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය, ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ ජාතික වැවිලි කළමනාකරණ ආයතනය ඇතුළු වැවිලි ක්ෂේත්‍රයට අදාළ ආයතන එක්ව ක්‍රියාත්මක කිරීමට නියමිතය. එහි මූලික අදියර යටතේ තේ ගම්මාන 144ක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර, එහි සමාරම්භක වැඩසටහන 2026 ජූලි 15 වැනිදා දිස්ත්‍රික්ක 14ක් ආවරණය වන පරිදි පැවැත්වීමට නියමිත බවද මෙහිදී අනාවරණය විය.
මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ ලෙස 2030 වන විට ශ්‍රී ලංකාවේ නිමි තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 400 දක්වාත්, තේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 දක්වාත් ඉහළ නැංවීම දක්වා ඇත.
කුඩා තේවතු ගොවීන්ගේ දළු අස්වැන්න වැඩිදියුණු කිරීම, ආදායම් තත්ත්වය ඉහළ නැංවීම, අගය එකතු කළ තේ නිෂ්පාදන හඳුන්වාදීම, තේ කර්මාන්තය සංචාරක ව්‍යාපාරය සමඟ ඒකාබද්ධ කිරීම, නවීන හා තිරසාර වගා ක්‍රම හඳුන්වාදීම, තේ ගම්මාන ආශ්‍රිත යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ තේ නිෂ්පාදන සමූපකාර සමිති පිහිටුවීම වැනි අරමුණු මෙම වැඩසටහන හරහා සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කෙරේ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කළේ, 2026 වසර තුළ ආරම්භ කිරීමට නියමිත තේ ගම්මාන 144 තෝරාගැනීමේදී කිසිදු දේශපාලන මැදිහත්වීමක් සිදු නොවූ බවයි.
ඒ සඳහා තේ පර්යේෂණ ආයතනය සහ කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විද්‍යාත්මක හා තාක්ෂණික නිර්ණායක මත පදනම්ව තෝරාගැනීම් සිදු කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
ගුණාත්මක තේ නිෂ්පාදනය ඉහළ නැංවීම, නිෂ්පාදන ඵලදායීතාව වැඩිදියුණු කිරීම සහ ඒ හරහා ගොවීන්ගේ ආර්ථික ශක්තිය තවදුරටත් වර්ධනය කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක්, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතා ඇතුළු නිලධාරීහු, කුඩා තේවතු සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා තේ මණ්ඩලය, තේ පර්යේෂණ ආයතනය සහ ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ සභාපතිවරුන් හා නිලධාරීන් මෙන්ම රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය, ඇල්කඩුව වැවිලි සමාගම සහ කළුබෝවිටියාන තේ කර්මාන්තශාලා සමාගමේ නියෝජිතයෝද සහභාගී වූහ.