අදහාගත නොහැකි උද්භිද උද්‍යාන ආදායම මෙන්න
පසුගිය 2025 වසරේදී ද උද්භිද උද්‍යාන ආදායම රුපියල් බිලියනය ඉක්මවූ බව ජාතික උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරනුයේ එම වසරේදී ද ශ්‍රී ලංකාවේ උද්භිද උද්‍යාන ආදායමේ සැලකිය යුතු වර්ධනයක් වාර්තා කළ බවත් මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාවේ ඉහළ යෑම සහ සංචාරක අංශයේ වර්ධනය මේ සඳහා හේතුවී තිබෙන බවට අනුමාන කරන බවයි.
2025 වසරේදී ඇතිවූ දිට්වා සුළි කුණාටුවේ බලපෑම හමුවේ වුවද එම වර්ෂයේදී ජාතික උද්භිද උද්‍යානයන් හී උද්භිද විද්‍යාත්මක ආකර්ෂණයන්ගෙන් ලැබෙන ආදායම රුපියල් බිලියන ඉක්මවූ බවත් පෙන්වා දෙයි.
තවද එම දෙපාර්තමේන්තුව එය රුපියල් බිලියන 1.394ක් ලෙස වාර්තා වී තිබෙන බව සදහන් කර තිබේ.
මෙම ආදායම 2024 වසර හා සැසඳීමේදී 07%ක ඉහළ යාමක් බවත් 2025 වසරේදී සංචාරක ඉපැයීම් සහ ආර්ථික ක්‍රියාකාරකම් සඳහා උද්‍යානවල දායකත්වය මනා ලෙස පෙන්නුම් කර ඇති බවත් එම දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ.
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය, හක්ගල උද්භිද උද්‍යානය, ගම්පහ උද්භිද උද්‍යානය, සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය සහ මිරිජ්ජවිල වියලි කලාපීය උද්භිද උද්‍යානයද ගනේවත්ත වන ඖෂධ උද්‍යානයද පාලනය වේ.
ජාතික උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කරනුයේ පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය සඳහා පසුගිය වසරේ මිලියනයකට වඩා නරඹන්නන් සංඛ්‍යාවක් ආකර්ෂණය ගැනීමට සමත් වූ බවත් සමස්ත මිලියන 2කට වැඩි සංචාරකයින් ප්‍රමාණයක් සියලුම උද්භිද උද්‍යාන නැරඹීම සඳහා පැමිණ තිබෙන බවයි.
එමෙන්ම මෙම ආදායම් අතරට සියලුම උද්භිද උද්‍යාන නැරඹීම සඳහා ඇතුල්වීමේ ගාස්තු, ශාක අලෙවිය සහ ස්ථානීය පහසුකම් වැනි සේවාවන් තුළින් ලැබෙන ආදායම් සහ අනෙකුත් අනුබද්ධ ආදායම්වල සැලකිය යුතු වර්ධනය මේ සදහා බලපෑ බවත් ජාතික උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.