රටේම ආන්දෝලනයට තුඩදුන් අකුරේගොඩදී නීතිඥ ඝාතනය ගැන ඇමති විජේපාල පාර්ලිමේන්තුවෙදී කට අරී
ලංකාවේ ආන්දෝලනයට තුඩදුන් තලංගම, අකුරේගොඩදී නීතිඥයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ එක් වෙඩික්කරුවෙකු සහ ඔවුන්ට ප්‍රවාහන පහසුකම් සැපයූ බව කියන පුද්ගලයෙකු හඳුනාගෙන තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.
තවද මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවයි
මේ සම්බන්ධව තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා සදහන් කළේ මෙවන් අදහසක්
"අපරාධයට සම්බන්ධ වාහනය බද්දේගම ප්‍රදේශයේදී ගිනි තබා විනාශ කර තිබියදී සොයාගනු ලැබුවා. අපරාධය සඳහා ගිනිඅවි ලබා දීමට පැමිණි රථය කොට්ටාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෙඩික්කරුවන් අපරාධය සිදු කිරීමට ප්‍රථම නවාතැන්පොළ වෙත කැඳවා ගෙන පැමිණි රථය අත්අඩංගුවට ගැනීමට විමර්ශන කටයුතු ආරම්භ කරලා තිබෙනවා සහ මෙහි හිමිකරු මේ වන විට හඳුනාගෙන තිබෙනවා. එ් වගේම මෙම අපරාධය සිදු කිරීම සඳහා රිවෝල්වර් වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබූ සැකකරු අංක 102/9, පන්සල පාර, රුක්ගහවෙල පදිංචි රූබට් සුරේෂ් බවට මේ වන විට හඳුනාගෙන තිබෙනවා. ඔහු අත්අඩංගුවට ගැනීමට මේ වන විට පුළුල් විමර්ශන ආරම්භ කර තිබෙනවා. වෙඩික්කරුවන් අපරාධය සිදු කිරීමට ප්‍රථම නවාතැන්පොළ වෙත කැඳවා ගෙන පැමිණි රථයේ හිමිකරු රසික නිවස, පරණ කොළණිය ඇත්කඳුර, ගාල්ල නිවසේ පදිංචි වන්නිආරච්චිගේ සිහින දිල්සර යන අය බව තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.
ඒ අනුව සැකකරු සහ අදාළ රථය අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මෙතෙක් සිදුකර ඇති විමර්ශනයේදී මෙම අපරාධය විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන "ටුටූ" නම් අන්වර්ථ නාමයෙන් හඳුන්වන උග්ගල්ල ආරච්චිගේ තරිඳු මදුශංක නැමැති අය විසින් මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන තියෙනවා. පොලිස් කණ්ඩායම් මේ වෙනකොට මේ සම්බන්ධව පුළුල් විමර්ශන දියත් කරලා මේ වෙඩික්කරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නවා."