පාතාලයට හා කුඩු ජාවාරමට යතුරුපැදි සැපයූ "බෝම්බුවල සුද්දා" අත්අඩංගුවට
පාතාල ක්‍රියාකාරකම් සහ මත්කුඩු ජාවාරම් සඳහා යතුරුපැදි සැපයීමේ නිරත වූ බවට සැක කෙරෙන "බෝම්බුවල සුද්දා" නැමැති අනුවර්ත නාමයෙන් හඳුන්වන 30 හැවිරිදි සැකකරුවෙකු කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
කළුතර දකුණ පොලිස් වසමේ නාගොඩ මංසන්ධිය ප්‍රදේශයේ වෙෙළඳසැලක් අසල නවතා තිබූ යතුරුපැදියක් සොරකම් කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කළ පොලීසිය, ප්‍රදේශයේ CCTV දර්ශන ඔස්සේ සැකකරු හඳුනාගෙන තිබේ.
ඉන්පසුව කළුතර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් බෝම්බුවල ප්‍රදේශයේදී මෙම යතුරුපැදිය ධාවනය කරමින් තිබියදී සැකකරු සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සදහන් කළේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අදාළ යතුරුපැදියේ අංක තහඩුවේ ලියාපදිංචි අංක වෙනස් වන පරිදි ස්ටිකර් අලවා තිබූ බවයි වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොහු ඉංගිරිය, රත්නපුර සහ කිරිඇල්ල යන පොලිස් වසම්වල යතුරුපැදි සොරකම් කිරීම් රැසකට සම්බන්ධ අයෙකු බවයි.
මෙලෙස සොරකම් කරන යතුරුපැදි මත්කුඩු ජාවාරම් සහ වෙනත් සාපරාධී ක්‍රියා සඳහා පාතාල කල්ලි වෙත ලබාදීමට මොහු කටයුතු කර ඇති බවට සැක කෙරේ.
අත්අඩංගුවට ගත් සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කළුතර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වයි.