පාකිස්ථානයේ බන්ධනාගාර තුළත් උණුසුම් තත්ත්වයක් - දැඩි තදබදයක් නිර්මාණය වෙයි
අධිකරණ තීන්දු ප්‍රමාද වීම හේතුවෙන් විභාග වෙමින් පවතින නඩුවලට අදාළ සැකකරුවන් පිරිස සීඝ්‍රයෙන් ඉහළ යාම නිසා පාකිස්ථානයේ බන්ධනාගාර තුළ දැඩි තදබදයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.
විදෙස් ජනමාධ්‍ය වාර්තා කරන්නේ එරට පිහිටි බන්ධනාගාරවල රඳවා තැබිය හැකි උපරිම රැඳවියන් සංඛ්‍යාව 64,000ක් පමණ වුවද, මේ වන විට රට පුරා පිහිටි බන්ධනාගාරවල රැඳවියන් 110,000කට ආසන්න සංඛ්‍යාවක් රඳවා සිටින බවයි.
පාකිස්ථානයේ වැඩිම බන්ධනාගාර රැඳවියන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ, පන්ජාබ් ප්‍රාන්තයෙන් වන අතර, එහි පිහිටි බන්ධනාගාර 45 තුළ දැනට රැඳවියන් 70,000ක් පිරිසක් සිටියි.
එම ප්‍රාන්තයේ බන්ධනාගාරවල සමස්ත ධාරිතාව 38,000ක් පමණක් වන බැවින්, පවතින රැඳවියන් සංඛ්‍යාව පවතින ඉඩකඩට වඩා බෙහෙවින් ඉහළ අගයක් ගෙන ඇත. පන්ජාබ් හි සිටින මෙම රැඳවියන් 70,000 අතුරින් වරදකරුවන් වී ඇත්තේ 16,000ක් පමණක් වන අතර, ඉතිරි බහුතරය තවමත් අධිකරණ හමුවේ නඩු විභාග වෙමින් පවතින සැකකරුවන්ය.
සින්ද් ප්‍රාන්තයේ බන්ධනාගාර 23ක් පවතින අතර, ඒවායේ සමස්ත ධාරිතාව 14,000ක් පමණ වේ. කෙසේ වෙතත්, එම ප්‍රාන්තයේ බන්ධනාගාර පද්ධතියට දැඩි බලපෑමක් එල්ල කරමින් මේ වන විට රැඳවියන් 25,000ක් පමණ රඳවා තබා තිබෙන අතර ලැබී ඇති දත්තවලට අනුව, සින්ද් ප්‍රාන්තයේ සිටින රැඳවියන් 25,000 අතරින් වරදකරුවන් වී ඇත්තේ 4,000ක් වැනි සුළු පිරිසක් වන අතර, ඉතිරි පිරිස නඩු විභාග අපේක්ෂාවෙන් පසුවන ය බව මාධ්‍ය වාර්තා කරයි.
මෙම දත්තයන්ට අනුව පන්ජාබ්, සින්ද් සහ කයිබර් පක්තුන්ක්වා යන ප්‍රාන්තවල බන්ධනාගාර ජනගහනයෙන් වැඩිම ප්‍රතිශතයක් නියෝජනය කරන්නේ නඩු විභාග අවසන් නොවූ රැඳවියන්ය. පවතින ධාරිතාව ඉක්මවා යමින් මෙලෙස රැඳවියන් සංඛ්‍යාව ඉහළ යාම පාකිස්ථානයේ බන්ධනාගාර පද්ධතියට විශාල අභියෝගයක් වී ඇති අතර, අධිකරණ තීන්දු ප්‍රමාද වීම මෙම ගැටලුව තවදුරටත් උග්‍ර වීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.