''2027 ලෝක කුසලානයට පෙර රෝහිත් ෂර්මා විශ්‍රාම ගනීවිද?'' - කෝලි සහ ජඩේජා ගැනත් කතාබහක්
2027 එක්දින ලෝක කුසලානය සඳහා ඉන්දීය කණ්ඩායම සිය සූදානම් කටයුතු ආරම්භ කිරීමත් සමඟ රෝහිත් ෂර්මා, විරාට් කෝලි සහ රවීන්ද්‍ර ජඩේජාගේ අනාගතය සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
PTI පුවත් සේවය උපුටා දක්වමින් වාර්තා පෙන්වා දෙන්නේ රෝහිත් ෂර්මාට සාපේක්ෂව විරාට් කෝලි සහ රවීන්ද්‍ර ජඩේජා මේ වනවිට එතරම් දැඩි පීඩනයකට ලක්ව නොමැති බවයි.
තේරීම් කමිටුවේ සාමාජිකයෙකු විසින් රෝහිත් ෂර්මා වෙත ඉදිරියට ඔහු නොමැතිව කටයුතු කිරීමට තීරණය කර ඇති බව දැනුම් දී ඇති බවටද වාර්තා පළ වී තිබේ. එම දැනුම්දීම තේරීම් කමිටු සභාපති අජිත් අගාර්කර් විසින් සිදුකර නොමැති බවද සඳහන්ය.
එම අවස්ථාවේදී රෝහිත් ෂර්මා දැඩි ලෙස කෝපයට පත්වුවද, එංගලන්තයට එරෙහි එක්දින තරගාවලියෙන් පසුව ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට ඔහු එකඟ වී සිටි බවටද වාර්තා පළ වී ඇත.
කෙසේ වෙතත්, එංගලන්තයට එරෙහි අවසන් එක්දින තරගයේදී ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී රෝහිත් ෂර්මා රැස් කළ විශිෂ්ට ලකුණු 138 හේතුවෙන් එම අවස්ථාවේ ඔහුගේ විශ්‍රාම ගැනීමේ හැකියාව තාවකාලිකව පසෙකට දැමුණු බව වාර්තා වේ.
මේ අතර, හිටපු දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් 2027 එක්දින ලෝක කුසලානයේදී රෝහිත් ෂර්මා සහ විරාට් කෝලි ඉන්දීය කණ්ඩායමට වැදගත් වනු ඇති බව පෙන්වා දී තිබේ.
ලෝක කුසලාන තරගාවලියකදී රෝහිත් ෂර්මා සතු අත්දැකීම් මෙන්ම විරාට් කෝලි සතු ජයග්‍රහණය සඳහා ඇති දැඩි ආශාවද ඉන්දීය කණ්ඩායමට විශාල වාසියක් වනු ඇති බව රෝඩ්ස් සඳහන් කර ඇත.
ලෝක කුසලානයක් වැනි දැඩි පීඩනයක් සහිත තරගාවලියකදී ක්‍රීඩකයෙකුගේ දක්ෂතාව සහ ශාරීරික යෝග්‍යතාව පමණක් නොව, එවැනි තරගාවලියක අත්දැකීම්ද ඉතා වැදගත් බව ඔහු පෙන්වා දී තිබේ. “ලෝක කුසලාන තරගාවලියක අත්දැකීමත් අප බොහෝවිට සැලකිල්ලට නොගන්නා තවත් වැදගත් සාධකයක්. අපි ක්‍රීඩකයන්ගේ දක්ෂතා, හැකියාවන් සහ ඔවුන්ගේ මෑත කාලීන දස්කම් දෙස බලනවා.
නමුත් පීඩනයෙන් පිරුණු ලෝක කුසලාන තරගයකදී මානසික ශක්තිය ඉතා වැදගත්,” යනුවෙන් රෝඩ්ස් පවසා ඇත. ලෝක කුසලාන තරගාවලි හතරකට සහභාගී වී ඇති තමන්ට එවැනි තරගාවලියකදී ඇතිවන පීඩනය පිළිබඳව හොඳ අවබෝධයක් ඇති බවද ඔහු සඳහන් කර තිබේ.
ඒ අනුව, රෝහිත් ෂර්මා වැනි ලෝක කුසලාන අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු 2027 ලෝක කුසලාන කණ්ඩායම තුළ සිටීම ඉන්දීය කණ්ඩායමට විශාල වාසියක් වනු ඇති බව ජොන්ටි රෝඩ්ස් වැඩිදුරටත් පෙන්වා දී ඇත.