අම්මෝ බේරේ වැවේ ගද නහයක් තියන් ඉන්න බෑ හෝටලුත් වහලා යනවා මිනිස්සු
බේරේ වැව දෙපස පදිංචිකරුවෝ වැවෙන් හමා එන දැඩි දුර්ගන්ධය හේතුවෙන් වැව ආසන්නයේ හෝටල් ආදිය පවත්වාගෙන යාම දැඩි අර්බුදකාරීයක් තත්වයක බවත් තමන්ට සිය නිවාසවල පවා ජීවත්වීමට නොහැකි බවත් පවසයි.
බේරේ වැවට කොළඹ නගරයේ මළ අපද්‍රව්‍ය සහ අප ජලය මහා පරිමාණයෙන් බැහැර කෙරෙන අතර පොලිතින් ඇතුළු අපද්‍රව්‍ය විශාල වශයෙන් බැහැර කිරීම හේතුවෙන් වැවෙන් හමා එන අධික දුර්ගන්ධය නිසා හෝටල් කිහිපයක්ද වසා දැමුණු බව වාර්තා වේ.
බේරේ වැව පිරිසුදු කිරීම සඳහා කෙටි කාලීන,මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙන බව බස්නාහිර පළාත් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති, බේරේ වැව පිරිසුදු කිරීමට වැඩපිළිවෙළක් සකස් කිරීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් පිහිටුවන ලද කාර්ය සාධන බළකායේ සභාපති චතුර කහඳවආරච්චි මහතා පවසයි.
සභාපතිවරයා පවසන්නේ කෙටි කාලීන වැඩපිළිවෙළ යටතේ බේරේ වැවට මල අපද්‍රව්‍ය ගලා ඒම වැළැක්වීමට වැඩපිළිවෙළක් යොදා ඇති බවද හෙතෙම කීය.
එමෙන්ම,වැවේ පාවෙන අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා ඉලෙක්ට්‍රොනික බෝට්ටු යොදාගෙන බවත් පොලිතින්, ප්ලාස්ටික්, ජපන් ජබර ආදිය මෙම බෝට්ටුවට ස්වංක්‍රීයව එකතු කෙරෙන බවත්, එක බෝට්ටුවකට වරකදී මෙම අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500ක් පමණ එකතු කෙරෙන බවයි.
බේරේ වැවට ඇළවල් අටකින් ගලා එන මලාපවහන අපද්‍රව්‍ය සහ අපජලය කොළඹ මහ නගර සභාවේ අප ජල පොම්පාගාරයක් හරහා වැල්ලවත්තෙන් මුහුදට බැහැර කිරීමට සැලසුම් කර ඇති බවත් කොළඹ අප ජලය බැහැර කෙරෙන නළ පද්ධතිය වසර 100 ක් පමණ පැරණි වීම හේතුවෙන් ස්ථානවල තිබෙන පලුදු නිසා එම අපද්‍රව්‍ය බේරේ වැවට එකතු වන බවත් සභාපතිවරයා කීවේය.
බේරේ වැව ආශ්‍රිතව කියුබික් මීටර් ලක්ෂයක මලාපවහන පිරිසුදු කිරීමේ පද්ධතියක් ස්ථාපිත කිරීමටද සැලසුම් කර තිබෙන බවත්, මේ වනවිට ඒ සඳහා ඉඩමක් වෙන්කරගෙන ඇති බවත්, එහි කටයුතු අවසන් කිරීමට වසර පහක පමණ කාලයක් ගතවනු ඇති බවත් ඔහු පවසයි.
