වාහන ආනයනය පිළිබඳව අසුබ ආරංචියක් - බදු මුදල් ඉහළට
කොළඹ සහ හම්බන්තොට වරාය තුළ මෙරටට ආනයනය කරන ලද මෝටර් රථ 300කට ආසන්න සංඛ්‍යාවක්, මාස හයක පමණ කාලයක් සිට ගොඩගැසී පවතින බව වාර්තා වේ.
මෙයට මූලික හේතුව වන්නේ, රේගු දෙපාර්තමේන්තුව විසින් අලුතින් පනවා ඇති අධිභාර ගාස්තු ගෙවීමට සිදුවීම නිසා ඒවා නිදහස් කළ නොහැකි වීමයි.
නීත්‍යනුකූල බැංකු පටිපාටිය (LC) අනුගමනය කරමින් පෞද්ගලිකව ආනයනය කරන ලද මෙම වාහන සඳහා රේගුව විසින් අය කරන අමතර ගාස්තු ඉතා අසාධාරණ බව ආනයනකරුවන් සඳහන් කරයි.
සාමාන්‍ය බදු මුදලට අමතරව පනවා ඇති මෙම අධිභාරය හේතුවෙන් වාහනයේ මුළු වටිනාකමට ආසන්නව අඩකට සමාන ප්‍රමාණයක් රේගුවට ගෙවීමට සිදුවන බවද ඔවුන් චෝදනා කරයි.
එබැවින් වරාය තුළ වාහන රඳවා තැබීම හේතුවෙන් එක් වාහනයක් සඳහා රුපියල් ලක්ෂ 30 සිට 50 දක්වා විශාල ප්‍රමාද ගාස්තුවක් ගෙවීමට සිදුව ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ විධායක නිලධාරී දමිත් මලවිතන්තිල මහතා සඳහන් කළේය.
මෙම අර්බුදය හමුවේ ප්‍රමාද ගාස්තු පියවා ගැනීම සඳහා දැඩි මූල්‍ය අපහසුතාවයට පත්ව සිටින ආනයනකරුවන්ට, වෙනත් පාර්ශවයන්ගෙන් ණය ලබා ගැනීමට සිදුව ඇති බවද ඔහු මාධ්‍ය හමුවේ වැඩිදුරටත් අවධාරණය කළේය.